මාධ්‍ය නිදහසේ හංස ගී හඬ මැදින් ලක්බිමත් වැසේ!

June 11, 2019 at 11:47 pm | by emanisa.lk

කලක් ශ්‍රී ලංකාවේ ඉතාම ජනප්‍රිය පුවත්පතක් බවට පත්ව තිබූ ලක්බිම පුවත්පත වසා දැමීමට එහි පාලනාධිකාරිය අද (11) තීන්දු කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාලට අයත් සුමති නිව්ස්පේපර්ස් ලිමිටඩ් ආයතනය මගින් ප්‍රකාශයට පත් කළ දිනපතා ලක්බිම පුවත්පත මිට මාස 6කට පමණ පෙර වසා දැමුණු අතර මේ සතියේ සිට ඉරිදා ලක්බිම පුවත්පත ද වසා දැමීමට අද පැවති සාකච්ඡාවක දී තීන්දු කර තිබේ.

මෙහිදී කර්තෘ මණ්ඩලයේ මිහිරි ෆොන්සේකා පවසා ඇත්තේ වර්තමාන සේවක පිරිස 30ක් දක්වා අඩු කර ලබා දිය හැකි නම් පුවත්පත පවත්වාගෙන යා හැකි බවය. කෙසේ වුවද පාලනාධිකාරිය ඒ සඳහා යහපත් ප්‍රතිචාර දක්වා නොමැත.

දිනපතා ලක්බිම පුවත්පත වසා දමන අවස්ථාවේ එහි පාලනාධිකාරිය ප්‍රකාශ කළේ රුපියල විශාල වශයෙන් අවප්‍රමාණ වීමත් සමග කඩදාසි මිල අධික ලෙස ඉහළ යාම නිසා පුවත්පත වසා දමන බවය.

1994 වසරේ එනම් වසර 25කට පෙර ආරම්භ කළ ලක්බිම පුවත්පතේ ආරම්භ කතුවරයා වූයේ ප්‍රවීණ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාරය. එම පුවත්පත ලැබූ ජනප්‍රියතාවත් සමග 2000 වසරේ දී දිනපතා ලක්බිම පුවත්පත බිහි විය.

සුන්දර නිහතමානී ද මෙල්, ජටිල වැල්ලබඩ, අනුර හොරේසස්, සමන් වගආරච්චි, පසන් සමරවික්‍රම, සම්පත් ලක්මාල්, චාමර ලක්ෂාන් මාධ්‍යවේදීහු ලක්බිම පුවත්පතට සම්බන්ධ වී විවිධ යුගවල කටයුතු කළහ.

මේ වන විටත් ලක්බිම පුවත්පතට සම්බන්ධ වී මාධ්‍යවේදීන් ඇතුළු සේවකයන් 90 දෙනෙකු පමණ කටයුතු කරන අතර ඔවුන්ගේ රැකියා අවස්ථා ද මේ සමග අහිමි වී වනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස