ප්‍රහාරය ගැන දින 12කට පෙර ආරක්ෂක ලේකම්ට දැනුම් දුන්නා! බුද්ධි තොරතුරු රැස්වීමේ එය ප්‍රමුඛ මාතෘකාවක් වුණේ නෑ! ආරක්ෂක කවුන්සිලය අන්තිමට රැස්වුණේ පෙබරවාරි 19! – බුද්ධි ප්‍රධානී හෙළ කරයි…

May 30, 2019 at 9:11 am | by admin

අප්‍රේල් 21 වැනිදා දිවයිනේ ස්ථාන කිහිපයකට ත‍්‍රස්ත ප‍්‍රහාර එල්ලකරන බවට ලැබී තිබූ තොරතුරු දින 12කට පෙර එනම් අප්‍රේල් 09 වැනිදා ආරක්‍ෂක ලේකම්වරයාට දැනුම් දුන්නත් ප‍්‍රහාරය සිදුවනතුරුත් ආරක්‍ෂක කවුන්සිලය රැස්වූයේ නැතැයි ජාතික බුද්ධි ප‍්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා ඊයේ (29 දා) පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්‍ෂි දෙමින් කියා සිටියේය.

රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්‍ෂ නිලන්ත ජයවර්ධන මහතා විසින් මෙම ප‍්‍රහාරය සම්බන්ධයෙන් ඔහුට ලද තොරතුරු අප්‍රේල් 08 වැනිදා තමන්ට දැනුම් දුන් බව සිසිර මෙන්ඩිස් මහතා කීවේය.

ඒ පිළිබඳව තමා ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතාට ප‍්‍රකාශ කළ මුත් ඒ සම්බන්ධයෙන් ක‍්‍රියා කළ යුත්තේ පොලිසිය බව ද ඒ නිසා පොලිස්පතිට දන්වා යවන ලෙස ආරක්‍ෂක ලේකම්වරයා කී බව ද සිසිර මෙන්ඩිස් මහතා සාක්‍ෂි දෙමින් පැවසුවේය.

බුද්ධි තොරතුරු සම්බන්ධීකරණ රැස්වීම එදිනට පසුදා එනම් 09 වැනිදා පැවැත්වූ බව ද එම රැස්වීමේදී හෝ මෙම බුද්ධි තොරතුරු ප‍්‍රධාන මාතෘකාවක් වූයේ නැතැයි ද එම රැස්වීමට ආරක්‍ෂක ලේකම්, ත‍්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පති සහභාගි වී සිටි බව ද සිසිර මෙන්ඩිස් මහතා ප‍්‍රකාශ කළේය.

ඉන්පසු එදිනම වැදගත් යැයි සටහනක් තබමින් තමන් පොලිස්පතිවරයාට මෙම අනතුර ගැන ලිඛිත දැනුම්දීමක් කළ බව ද කී සිසිර මෙන්ඩිස් මහතා අප්‍රේල් 21 ප‍්‍රහාරයට පෙර අවසන් වරට ආරක්‍ෂක කවුන්සිලය රැස්වූයේ පෙබරවාරි 19 වැනිදා බව ද පැවසුවේය.

පාස්කු දින සිදුවූ ත‍්‍රස්ත ප‍්‍රහාරය ගැන සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන විශේෂ තේරීම් කාරක සභාව ඊයේ පළමු වරට රැස්වූ අතර වැඩබලන සභාපති ලෙස ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න මහතා මුලසුන දැරුවේය.

දිවයින

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස