නොවැම්බර් 17 එළිවෙද්දී අභූත චෝදනා මත සිරගත කළ සියලු රණවිරුවන් නිදොස් කොට නිදහස් කරනවා! – අනුරපුර ජයබිමේ සිට ගෝඨා දැයට පොරොන්දු වෙයි…

October 9, 2019 at 11:40 pm | by emanisa.lk

අභූත චෝදනා මත සිරගත කර සිටින රණවිරුවන් සියලු දෙනා නොවැම්බර් 17 වෙනි දින එළිවන විට නිදොස් කොට නිදහස් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කරන ජනරැලි මාලාවේ මංගල රැලිය අනුරාධපුරයේදී අද (9) අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

එහිදී අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ වැඩි දුරටත් මෙසේ ද පැවසීය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඓතිහාසික තීන්දුවක් අරගෙන අපේ ජයග‍්‍රහණය විජයග‍්‍රහණයක් බවට පත් කිරීමට අද එකතු වී සිටිනවා. එදා මූලිකව ආරම්භ කළ ශ‍්‍රීලනිපය රාජපක්‍ෂවරුන්ට කවදාවත් විරුද්ධ වුණේ නැහැ. ඩී. ඒ. රාජජපක්‍ෂ සහ බණ්ඩාරනායක මහත්වරුන් විසින් ආරම්භ කළ ශ‍්‍රීලනිපය මගේ ජයග‍්‍රහණය වෙනුවෙන් එකතු වීම පිිළිබඳව ස්තුතිවන්න වෙනවා. මෙතැනට රැස්ව සිටින ජනතාව දෙස බැලීමෙන් අපේ ජයග‍්‍රහණය පැහැදිලියි.

ආණ්ඩු පක්‍ෂය කියනවා අපි ආවොත් මිලිටරි පාලනයක් ඇති වෙයි කියලා. අපි අභිමානවත් ලෙස මේ රට ත‍්‍රස්තවාදීන්ගෙන් බේරා ගත්තා. රට සහ සියලුම ජනතාව නිදහස ලබාදුන් රණවිරුවන්ව දංගෙඩියට ගෙනියන්නට හිරේ දාන්නට කටයුතු කළ ආකාරය ගැන ඔබ දන්නවා. මේ රට නිදහස් කිරීමට නායකත්වය දුන්නෙත් මේ මිලිටරිකාරයා තමයි. දැන් මේ රජය යටතේ නිදහසේ පල්ලියටවත් යන්න බැහැ. ආගමික කටයුතු කරන්නවත් නිදහසක් නැහැ. එදා මායිම් ගම්මාන කියා හඳුන්වපු මේ ගම්මානවලට ත‍්‍රස්තවාදීන් කළ අපරාධ කවුරුත් දන්නවා. එම නිසා බියෙන් ජීවත් වූ යුගය රණවිරුවන් සමග එකතු වෙලා අවසන් කළේ මේ මිලිටරිකාරයාම තමයි. 16 වැනිදා ඔබේ යුතුකම ඉටු කරන්න. පසුව මගේ යුතුකම ඉටු කරන බවට සහතික වෙනවා.

අනුරාධපුරය අතීතයේ හැඳින්වූයේ වැව්බැඳි රාජ්‍යය ලෙසින්. ගමයි පන්සලයි වැවයි සම්බන්ධ වූ කෘෂිකර්මාන්තයක් එදා අපට තිබුණා. රටේ තුනෙන් දෙකක් ජීවත් වුණේ කෘෂිකර්මාන්තය මතින්. නමුත් මේ ආණ්ඩුව කෘෂිකර්මාන්තයට ලබා දුන්නේ කුඩම්මාගේ සැලකිලි. ගොවීන් වෙනුවෙන් සේවයක් කළේ මහින්ද රාජපක්‍ෂ රජය පමණයි. කෘෂිකර්මාන්තයට රාජ්‍ය අනුගහය ලැබුණා. මේ රජය පොහොර සහනාධාරය කප්පාදු කළා. යළිත් දින 52 කාලයේදී ගොවීන්ට පොහොර සහනාධාරය දුන්නා. අපි ඉදිරියේදී පොහොර නොමිලේ ලබා දෙනවා.

අද වී තේ, රබර්, ගම්මිරිස් ඇතුළු සෑම භෝගයක්ම අඩු වෙලා. ක්‍ෂුද්‍ර මූල්‍ය ඇතුළු සියලුම ණය කපාහරිනවා. අපිට අවශ්‍ය ගොවීන් නඟාසිටුවීමටයි. මේ රට සහලින් ඇතුළු අනිකුත් භෝගවලින් ස්වයංපෝෂිත කරන්නට අවශ්‍යයි. කිසිම රටකට බැහැ ආහාර සුරක්‍ෂිතතාවයක් නැතිව අනාගතය දෙස බලන්නට. මේ රට ස්වයංපෝෂිත කිරීමට ආහාර සුරක්‍ෂිතතාව උදෙසා කළ හැකි සෑම දෙයක්ම කරනවා. රට සංවර්ධනය වීමේදී සියලුම ජන කොටස් සංවර්ධනය විය යුතුයි. දිළිඳු මට්ටමේ සිට සියලුම දෙනාගේ ජීවන තත්ත්වය ඉහළට ගත යුතුයි.

නියඟය, ගංවතුර වැනි හේතූන් නිසා ගොවීන්ට ලැබිය යුතු වන්දි මුදල් මාස හයක් ඇතුළත ගෙවා නිම කරනවා. වීවලට හොඳ සහතික මිලක් ලබා දෙනවා. අද ගොවියන්ට තිබෙන විශාල ගැටලුවක් තමයි අතිරික්ත නිෂ්පාදන ගබඩා කිරීමට ගබඩා පහසුකම් නොමැතිකම. මේ ගැටලුව විසඳීමට අපි මැදිහත් වෙනවා. ගබඩා පහසුකම් ඇති කිරීමට අපේ රජයක් යටතේ කටයුතු කරනවා. කෘෂිකර්මාන්තයට නවීන තාක්‍ෂණය යොදා ගන්නවා. ඒ සඳහා වැඩි වියදමක් යන්නේ නැහැ. නිෂ්පාදන ආරක්‍ෂා කර ගැනීමට නව තාක්‍ෂණය යොදා ගත යුතුයි. තරුණ පරපුර අතර කෘෂිකර්මාන්තය කෙරෙහි ආකර්ෂණය කර ගැනීමට වැඩපිළිවෙළක් සකස් කරනවා. පානීය ජල ගැටලුවට විසඳුම් දිය යුතුව තිබෙනවා. ස්වභාවික ජලමූලාශ අපවිත‍්‍ර වීමෙන් ජල සම්පත විනාශ වෙලා. මේවාට විසඳුම් ලබාදීම රජයක වගකීමක්. සෑම නිවසකටම පිරිසිදු පානීය ජලය ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරනවා.

අලි – මිනිස් ගැටුමට රජයක් වශයෙන් සෘජුවම මැදිහත් විය යුතුයි කියා විශ්වාස කරනවා. විද්‍යාත්මකම මේ ගැටලූව අධ්‍යයනය කරනවා. අලින්ගෙන් සිදුවන හානිවලට ඉතා කඩිනමින් වන්දි ලබාදෙන රක්‍ෂණ ක‍්‍රමයක් ක‍්‍රියාත්මක කරනවා. කිසිම මිනිස් ජීවිතයක් සුළුකොට තකන්නේ නැහැ. ඔබේ ආරක්‍ෂාව අපේ වගකීමක්. වසර පහක් තිස්සේ කඩාවැටී තිබූ රට ගොඩනඟන්නයි ඔබ අපෙන් ඉල්ලා සිටින්නේ.
සිරගත කර සිටින සියලුම රණවිරුවන්ව නිදහස් කරනවා. කඩාවැටුණු ආර්ථිකය ගොඩනැඟීම අපේ අරමුණයි. අපේ රජයක් යටතේ අධ්‍යාපනයට විශාල මුදලක් වැය කරනවා. අපි මේ මැතිවරණය ජයග‍්‍රහණයට කරනවා. බිය සැක නැති රටක් අතමිට ඇති හෙටක් බිහි කරනවා. විනයගරුක සමාජයක් ගොඩනඟනවා. අපේ අනාගත පරම්පරාවට ආඩම්බර විය හැකි සමාජයක් ගොඩනඟන බවට පොරොන්දු වෙනවා. ඒ සෞභාග්‍යමත් රට ගොඩනැඟීමට සියලුම දෙනාගේ සහාය අපේක්‍ෂා කරනවා.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස