ත්‍රස්තවාදීන් වෙනුවට ත්‍රස්තවාදය නැති කළ මිනිසුන් දඩයම් කළ ආණ්ඩුව රටට ආයෙත් මරබිය ගෙනාවා! – ඩලස් අලහප්පෙරුම (video)

May 4, 2019 at 1:11 pm | by admin

කටානේ පිපිරීමෙන් පසු ජනතාව විලාප දෙන විට පල්ලිය දෙසට බුරාගෙන දිව ආ බල්ලාට තිබුණු සංවේදිතාව හෝ ආණ්ඩුවට තිබුණේ නම් මේ මහ විනාශය වළක්වා ගත හැකිව තිබුණු බවත් දැන් හෝ මළ මිනි මතස සිට විපක්ෂයට මඩ අවලාද එල්ල කර විපතට පත් ජනතාවගේ සුබසෙත සඳහා කටයුතු කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීි ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ලෝක කම්කරු දිනය වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් (01) මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා වැඩි දුරටත් මෙසේ පැවසීය.

“රට වනසන ආණ්ඩුවේ අවසාන මැයි දිනය ලෙස මැයි දිනය ශ්‍රී ලංකාවේ කැලැන්ඩරයට එකතු වේවායි කියා ප්‍රාර්ථනා කරනවා. අද ජනපති, අගමැති ඇතුළු ආණ්ඩුවේ අසංවේදීභාවය නිසා වන්දි ගෙවන්න සිදුවෙලා තිබෙන්නේ සාමාන්‍ය ජනතාවටයි. ඒක මේ මොහොත දක්වා කෙළවරක් කර ගන්න බැරි තත්ත්වයකට පත්වෙලා.”

“නැවත මර බියකින් රට වෙළී තිබෙනවා. ජනතාව අවිනිශ්චිත තත්ත්වයකින් පසුවෙනවා. අපි 2015 සිට මුස්ලිම් අන්තවාදීන්ගේ ක්‍රියාකාරකම් ගැන පාර්ලිමේන්තුවෙත් ඉන් පිටතදීත් හෙළි කළා. ආණ්ඩුව කළේ ත්‍රස්තවාදීන් දඩයම් කරනවා වෙනුවට ත්‍රස්තවාදය නැති කළ මිනිසුන් දඩයම් කිරීමයි. මේ වන්දිය තමයි රටට සහ ජනතාවට ගෙවන්න සිදුවෙලා තිබෙන්නේ.”

“වසර 30 ක් තිස්සේ පැවති යුද්ධයකට නායකත්වය දුන් මහින්ද රාජපක්‍ෂ මහතා මේ ත්‍රස්තවාදය මර්දනය කරන්න රජයට සහාය දෙමු කියා කිව්වා. හිටපු ආරක්‍ෂක ප්‍රධානීන් කැඳවා වාර්තාවක් ලබා ගන්න කටයුතු කළා. ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු හිටපු ආරක්‍ෂක ප්‍රධානීන් සමඟ පැවති කෙටි සාකච්ඡාවකදී මේ ත්‍රස්තවාදය ගැන නොදන්නා බොහෝ කරුණු හෙළිදරව් වුණා. ඔවුන්ගෙන් වාර්තාවක් ලබා ගත්තා.

“එහෙම තිබියදීත් රාජිත සේනාරත්න වගකීම් විරහිතව, තමන්ගේ පැවැත්ම උදෙසා විපක්‍ෂයට දේශපාලන වශයෙන් මඩ ගහන යාන්ත්‍රණය දියත් කරන්න තීන්දු කර තිබෙනවා. මහින්ද – ගෝඨාභය රාජපක්‍ෂ මහත්වරුන් ආණ්ඩුවට උදව් කිරීමට සූදානම් වුවත් රාජිතගේ මේ මඩ දේශපාලනය ගැන රටේම ජනතාව අනිමිසලෝචනයෙන් බලාගෙන ඉන්නවා.”

“කටානේ පිපිරීම්වල පස්සේ පල්ලිය ඉදිරිපිට ජනතාව විලාප දුන්නා. අපි රූපරාමුවල දැක්කා එළියේ සිටි සුනඛයෙක් බුර බුර පල්ලිය දෙසට දුවනවා. ඒ සුනඛයාට තිබූ සංවේදීභාවයවත් ආණ්ඩුවට තිබුණා නම් රටට මෙවැනි විනාශයක් වෙන්නේ නැහැ. ආණ්ඩුවේ නොසැලකිලිමත්කම නිසයි මේක වුණේ. මියගිය කෙනෙක්ට රුපියල් ලක්‍ෂ 10 ක් සහ තුවාල අයට ලක්‍ෂ 5 ක් දෙනවා කියනවා. මනුෂ්‍ය ජීවිතයට මිලක් නියම කරන්න බැහැ. ඒක වෙනම කතාවක්.”

“මියගිය සෑම කෙනෙක්ම අවතක්සේරු කරන්න එපා. අවසන් මොහොතේ හෝ පුංචි සංවේදීභාවයක් තිබෙනවා නම් අවම තරමින් මියගිය කෙනෙක්ට රුපියල් ලක්‍ෂ 50 ක් දිය යුතුයි. තුවාල ලැබූවන්ගේ තත්ත්වය අනුව අවම තරමින් රුපියල් ලක්‍ෂ 25 ක්වත් දිය යුතුයි.

රාජිත සේනාරත්න මඩකලපුව ශරීයා විශ්වවිද්‍යාලය ගැන මඩ චෝදනාවක් කරනවා. රාජිත සේනාරත්නගේ ගෝත්‍රික විහිළුවලට උත්තර දිය යුතු නැහැ. සේනාරත්න පළමු බොරුව ආරම්භ කළේ 2015 ජනවාරි 15 වැනිදායි. අරලියගහ මන්දිරයේ කුමන්ත්‍රණයක් වෙනවා කිව්වා. එදා සිට බොරු යන්ත්‍රය කොපමණ බොරු කිව්වාද? පැයේ, සති මාසික බොරු කියනවා. ඔහුට කිසිම චකිතයක් නැහැ. ඩොලර් මිලියන ගණන් බැංකු ගිණුම්වල තියෙනවා.”

“ආවා කල්ලියත් ගෝඨාගේ කල්ලියක් කිව්වා. කරුණාකරලා මිනිසුන් සම්බන්ධයෙන් කරන චෝදනා ගැන මීට වඩා සැලකිලිමත් විය යුතුයි. සත්‍ය බිඳක්වත් නොමැති රාජිතගේ ප්‍රකාශවලට එරෙහිව නීතිමය පියවර ගන්නවා. අනුන්ට එරෙහිව කරන මෙවැනි අසික්කිත ප්‍රකාශ ප්‍රචාරය කිරීමේදී දෙපාරක් හිතන්න. රාජිත සේනාරත්න ප්‍රා කල්ලිය හදාගෙන සිටි කාලයේදී තමයි අපි මාධ්‍ය ක්‍ෂේත්‍රයට ආවේ. එදා සිට තවමත් මේ රටට බොරුවක් කියලා නැහැ.”

“වෘත්තීය පුහුණු ඇමැතිවරයා හිටි කාලයේදී විශ්වවිද්‍යාල වෘත්තීය පුහුණු ආයතන 25 ක් ඇති කරන්න තීන්දුවක් ගත්තා. 20 ක් ආණ්ඩුවේ ආයතන. 5 ක් පෞද්ගලික ආයතන. පහෙන් තුනක් අපි ආරම්භ කළා. 20 න් හයක් අපි ආරම්භ කළා. මීට වඩා ඉදිරියට යන්න අපිට පුළුවන්කමක් තිබුණේ නැහැ. මේ කියන මඩකලපුවේ විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට අවසරය දුන්නේ පාඨමාලා තුනක් වසර තුනකටයි. 2013 අගෝස්තු 15 වැනිදා මේ ගිවිසුම අත්සන් කළේ. ඒ පාඨමාලා ශරීයා පාඨමාලා නෙමෙයි. වෘත්තීය පුහුණු පාඨමාලා තුට සහ කෙටි කාලීන පාඨමාලා දෙකකට වශයෙන් අවසරය දුන්නා. 2016 වසරේදී අවසන් වෙනවා.”

“ඉන් පසුව සිදු වූ සිද්ධීන්වලට රාජිත සේනාරත්න මහතා වගකිව යුතුයි. රාජිත සේනාරත්න විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට දුන් ලිපි ලේඛන අපි සතුව තිබෙනවා. මහින්ද රාජපක්‍ෂ රජය යටතේ වෘත්තීය පුහුණු පාඨමාලා ඇරෙන්න කිසිම ආකාරයක විශ්වවිද්‍යාලයක් වෙනුවෙන් අවසරය දුන්නේ නැහැ. රාජිත කියන්නේ පට්ටපල් බොරු. ගෝඨාභය භීතිකාවෙන් පෙළෙන රාජිත සේනාරත්න ඇතුළු එජාපයටත් කියන්නේ මේවා ගැන සාකච්ඡා කරමු. රට භීතියෙන් වෙළාගෙන සිටින මේ මොහොතේ මඩ ප්‍රචාර කරන්න එපා. කිසිදු ජාතිවාදී, ආගම්වාදී කිසිම තීන්දුවක් එදා සිටම අරගෙන නැහැයි කියා වගකීමෙන් කියනවා.”

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස