ඔබ ඉදිරියට ගෙන ගියේ මා ඇරඹූ දූෂණ විරෝධී සටනයි…! යුක්තිය අගයන ජනතාව සැමදා ඔබ සමඟයි…! – චන්ද්‍රිකාගෙන් රංජන්ට ලිපියක්…

January 15, 2021 at 10:43 am | by emanisa.lk

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත සිරගත වූ රංජන් රාමනායක වෙත ඔහුගේ ඥාතියකු ද වන හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග ලිපියක් යොමු කර තිබේ.

ෆේස්බුක්හි පළව ඇති එම ලිපිය මෙසේ ය.

“මා හිතවත් රන්ජන් Ranjan Ramanayake

ඔබට මුහුණ දීමට සිදු වූ අවාසනාවන්ත සිදුවීම සැලවීමෙන් විස්මයටත්, කණගාටුවටත් පත්වීමි. ඔබට මේ තත්ත්වය ඇතිවූයේ මේ රටේ මුළුමනින් ම දූෂ්‍ය වී තිබෙන රාජ්‍ය තන්ත්‍රයට එරහිව නිර්භයව හඬනැගීම හේතුවෙනි.

ටෙන්ඩර් සහ මහා පරිමාණ වංචා කළ සොරුන්, මිනීමරුවන්, ජාවාරම්කාරයින් නිදහසේ ඉතා ඉහළින් වැජඹෙන විට, අතිශයින් ම දූෂිත දේශපාලන සහ රාජ්‍ය තන්ත්‍රය පිරිසිදු කිරීමට අවංකවම උත්සාහ කිරීම නිසා, ඔබට අද සිරගත වන්නට සිදු ව තිබේ.

මා ජනාධිපතිව සිටි අවධියේ දී මම ද, ඔබ අනුගමනය කළ ප්‍රවේශයට වඩා වෙනස් ප්‍රවේශයක් අනුගමනය කරමින් රටේ සියලු දූෂණ සහ අක්‍රමිකතා නැවැත්වීමට, අතිශය දුෂ්කර සහ අභියෝගාත්මක කාර්යභාරයක් ඉටුකළෙමි. අවාසනාවට මගෙන් පසු යුගය තුළ ඒ සියලු උත්සාහයන් උඩු යටිකුරු වී ගියේ ය.

කිසිදු විටෙක අධෛර්ය නොවන්න. යුක්තිය අගයන සියලු ජනතාව ඔබ සමග සිටින බැවින් සියල්ලටම ශක්තිමත්ව මුහුණ දෙන්න.

කුමන අභියෝග සහ බාධා එල්ල වුවද, අපේ දේශයේ සුබසිද්ධිය වෙනුවෙන් අපි බොහෝ කැපවීමෙන් වැඩ කළ යුතු වෙමු.

අයුක්තියට, අසාධාරණයට, දූෂණයට එරෙහිව ඔබ විසින් ආරම්භ කළ සටන වඩාත් ශක්තිමත්ව ඉදිරියට මෙහෙය වීමට ඔබට ආශිර්වාද කරමින් විජය මාමාගේ ගීත කොටසක් සිහිපත් කරමි.
“වරදට එරෙහිව අවි ඔසවන්නේ
රටකට දැයකට හිත ඇති මිනිසුන්
ශාන්තිවාදීව තපස් රකින්නේ
පිට කොඳු බිඳ ගත් ඔල මොල නිවටුන්”
මීට,
හිතවත්,
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග”

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස