RMV සේවක මාරුව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට පටහැනියි! සේවකයින් නැවතත් අධිකරණයට!

December 24, 2020 at 2:03 pm | by emanisa.lk

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ස්ථාන මාරු කිරීම්වලට එරෙහිව අධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කිරීමට සූදානමින් සිටින බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රගතිශීලී සේවක සංගමයේ සභාපති ආර්.එම්. ගයාන් මධුසංක පවසයි.

දූෂිත නිලධාරීන් සම්බන්ධයෙන් මුල සිටම කරන ලද ආනාවරණයන් බලධාරීන් නොසලකා ඒ වෙනුවට සමස්ත නිලධාරීන්ම දූෂිතයින් වන ආකාරයෙන් ස්ථාන මාරු කර යැවීම පිළිබඳ සේවකයින් තුළ බලවත් අප්‍රසාදයක් හා විරෝධයක් මතුවී ඇතැයි හෙතෙම කීය.

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ 600ක පමණ පිරිසක් ස්ථාන මාරු කිරීම ගැන අදහස් දක්වමින් ඔහු මේ බව අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා කියා සිටියේ මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ජනතාව අතර අප්‍රසාදයක් ඇති බව රාජකාරිය අකුරටම ඉටුකරන අවංක සේවකයින් හොඳටම දන්නා බවයි. ඒකට හේතුව ඇතැම් නිලධාරීන් කරන දූෂණ වංචා ඇතුළු අක්‍රමවත් නීති විරෝධී ක්‍රියා බවද ඔහු කියා සිටී. මේ ගැන අපි මුල ඉඳලම ඉහළ නිලධාරීන්ට කීවත් මේවා නැවැත්වීමට කිසිදු පියවරක් ගත්තේ නැහැ. දූෂිතයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගතයුතු වන නමුත් එම පියවර ගෙන ඇති ආකාරයෙන් අවංක නිලධාරීන් රැසකට සිදුව ඇත්තේ බලවත් අසාධාරණයක්.

පසුගිය ආණ්ඩු සමයේදීත් විවිධ අරමුණු පාදක කරගෙන මේ ආකාරයේ අසාධාරණ ස්ථාන මාරුකිරීමක් කරන්න ගියා. ඊට එරෙහිව 2018 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ද ගොනුකර තිබෙනවා. එම නඩුවට අනුකූලව අධිකරණය දී ඇති විසඳුමට අභියෝග කරමින් තමයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශයේ අවශ්‍යතාව පරිදි මේ ආකාරයේ අසාධාරණ ස්ථාන මාරුවක් ලබාදී තියෙන්නේ. අපි ඊට එරෙහිව නීති මගින් කරුණු දක්වා සටන අඛණ්ඩව ගෙන යනවා යැයි සභාපතිවරයා වැඩිදුරටත් පැවැසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *