මේ රටේ නායකයෝ අවදානම ගත්තේ රාජ්‍යය වෙනුවෙන්.. පුටුව වෙනුවෙන් අවදානම ගන්නවා කියන්න ලැජ්ජා වෙන්න ඕන…!

August 14, 2026 at 7:50 pm | by emanisa.lk

රාජ්‍ය නායකයන් අවදානම ගතයුත්තේ රාජ්‍යයෙහි ආරක්ෂාව වෙනුවෙන් මිස සිය පුටුවේ හෝ ආණ්ඩුවේ පැවැත්ම වෙනුවෙන් නොවන බව සර්වජන බලය මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය ප්‍රියංකර මහගම්මුල්ලගේ පවසයි.

වර්තමාන පාලකයන් නිතර විවේචනය කරන 77 සිට රට පාලනය කළ පාලකයන් රාජ්‍ය වෙනුවෙන් අවදානම ගෙන කටයුතු කර මහ පාරේ මැරී ගිය බවත් ඇතැමුන්ට ඇස් අහිමි වූ බවත් ඔහු පෙන්වා දෙයි.

කොටි සංවිධානය විරුද්ධව රාජ්‍ය වෙනුවෙන් ජීවිත අවදානම ගෙන සටන් කළ නායකයන් මෙන්ම අරගලය අවස්ථාවේ පාර්ලිමේන්තුව ගිනි තැබීමට එන විට අවදානම ගෙන ඒවා ආරක්ෂා කළ නායකයන් තවමත් මේ රටේ ජීවත්ව සිටින බවද හෙතෙම ප්‍රකාශ කරයි.

එහෙත් විපක්ෂයේ සිටින සමයේ වතුර ප්‍රහාරයක් එල්ල කරන විට දොරක් කඩාගෙන ගොස් කඩයක සැඟවුණු වර්තමාන ජනාධිපතිවරයා අද තමන් අවදානම ගන්නා බව ප්‍රකාශ කළද 88-89 සමයේද සිය අනුගාමිකයන් බිල්ලට දී ජීවිත බේරාගත් බවද ප්‍රියංකර මහගම්මුල්ලගේ සඳහන් කරයි.

සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි පවා නොමැති විනිසුරු වයස් නැංවීමේ ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරියට දමා ඊට නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ඇතුළු ජනතාව විරුද්ධ වන විට ජනාධිපතිවරයා අවදානමක් ගන්නේ යැයි ප්‍රකාශ කිරීම ලැජ්ජාවට කාරණයක් බවද ඔහු අවධාරණය කරයි.

සර්වජන බලය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එකතු වෙමින් ප්‍රියංකර මහගම්මුල්ලගේ මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස