2022 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීරණයකට අනුව ධුරය දරන විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය වන බව ප්‍රකාශ කර ඇතැයි වාර්තා වෙයි.
2022 වසරේදී ඉදිරිපත් වූ දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත (Inland Revenue Amendment Bill) සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් ව්‍යවස්ථාපිත තීරණයක මෙය සඳහන් වේ.
මෙම තීරණය ලබාදුන්නේ බුවනෙක අලුවිහාරේ, මුර්දු ප්‍රනාන්දු සහ ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල විසිනි.
එම ශ්‍රේෂ්ඨාධීකරණ තීන්දුව 2022 නොවැම්බර් 17 වන දින කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත.
පොදු නිලධාරීන් මෙන් නොව, ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම පැහැදිලිව නියම කර ඇත. එබැවින් දැනට ධුරය දරන විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස හෝ ධුර කාලය වෙනස් කිරීමට ගෙනෙන ඕනෑම ව්‍යවස්ථා සංශෝධනයක්, ඍජුව හෝ වක්‍රව අධිකරණයේ ස්වාධීනත්වයට බලපාන බැවින්, එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි වගන්තිය උල්ලංඝනය කිරීමක් වන අතර ඒ සඳහා ජනමත විචාරණයක් අනිවාර්ය වන බව එම තීන්දුවෙන් අවධාරණය කෙරෙයි.