මහා භාණ්ඩාගාරයේ මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටි රංග රාජපක්ෂගේ මරණය හුදෙක් සියදිවි නසාගැනීමක් නොව, එය සංවිධානාත්මකව සිදු කරන ලද දෙයක් බව නිදහස් නීතිඥයන්ගේ සංගමයේ කැඳවුම්කරු ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ, මෙම මරණය සම්බන්ධයෙන් පවතින සැකසහිත තත්ත්වයන් හමුවේ මෙය සැලසුම් සහගත සිදුවීමක් බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන බවයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශය ද මෛත්‍රී ගුණරත්නගේ දැඩි විවේචනයට ලක් විය.
අදාළ ගෙවීම් දස වතාවක් සිදුකර ඇති බවට නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන ප්‍රකාශය හාස්‍යජනක බවත්, දස වතාවක්ම මෙවැනි වැරදීමක් සිදුවිය හැකිද යන්නත් ඔහු ප්‍රශ්න කරයි.
එවැනි ප්‍රකාශ සිදුකරන අමාත්‍යවරුන්ට තවදුරටත් එම ධුරයන්හි රැඳී සිටීමට ඇති අයිතිය පිළිබඳව ද ඔහු මෙහිදී ප්‍රශ්න කළේය.
එසේම, ජාතික ජන බලවේගය ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු නොකරන්නේ නම් ඔවුන්ට එරෙහිව නඩු පැවරිය යුතු බවත්, මෙම වංචාවන් යටපත් කිරීමට ඉඩ නොදිය යුතු බවත් ඔහු අවධාරණය කළේය.
රටේ ස්වාධීන මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීව මේ පිළිබඳව හෙළිදරව් නොකරන්නට, මෙම මරණය සහ මූල්‍ය වංචාව මේ වන විටත් යටපත් වී අවසන් වීමට ඉඩ තිබූ බව ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න වැඩිදුරටත් සඳහන් කළේය.