අරගලකරුවන්ට අවශ්‍ය වූයේ දේශපාලන අස්ථාවරභාවයෙන් රට මුදාගෙන ස්ථාවර කිරීම බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව කියා සිටියේය.
වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ රට තුළ අරාජිකත්වය තව තවත් නිර්මාණය කරමින් මිලිටරිකරණය ශක්තිමත් කිරීමට උත්සාහ කරමින් සිටින බවද හෙතෙම පැවසීය.
අරගලකරුවන් රට අරාජික කරන බවට විවිධ පාර්ශ්ව කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බව කියා සිටි නාගමුව, දිගින් දිගට ම ගොඩනැඟිලි අත්පත් කර ගැනීම නිෂ්ඵල ක්‍රියාවක් බවත්, එවන් වුවමනාවක් අරගලකරුවන්ට නැති බවත් පැවසීය.
අරගලකරුවන් විසින් ජනාධිපති ලේකම් කාර්යාලය අල්ලා ගන්නා ලද්දේ හිටපු ජනාධිපතිවරයා ඉවත් කිරීමට මිස වෙනත් අරමුණකින් නොවන බවද කී හෙතෙම, මේ වන විට එහි අරමුණ ද ඉටු වී ඇති බව වැඩි දුරටත් කීවේය.