පාස්කු ප්‍රහාරය ගැන ජනතාව කුපිත කරන ප්‍රකාශ කරන්න එපා…! – ආරක්ෂක ලේකම් ආගමික නායකයින්ගෙන් ඉල්ලයි…

April 13, 2022 at 11:20 am | by emanisa.lk

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පුද්ගලයන් 735 දෙනකු අත්අඩංගුවට ගෙන විමර්ශන සිදු කර ඇතැයි ආරක්ෂක ලේකම්, විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැති විශේෂ මාධ්‍ය හමුවක දී ඊයේ (12) ඔහු මේ බව පැවසීය.

මෙසේ අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගෙන් 196 දෙනකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන බවත් 86 දෙනකුට එරෙහිව නඩු කටයුතු ආරම්භ කර ඇති බවත් පුද්ගලයන් 29 දෙනකු රැඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කරනු ලබන බවත් 493 දෙනකු ඇප මත නිදහස් කර ඇති බවත් ආරක්ෂක ලේකම්වරයා කීවේය.

පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් ආගමික නායකයන් ප්‍රකාශ නිකුත් කිරීමේ දී ජනතාව කුපිත කරවන ආකාරයේ ප්‍රකාශ නිකුත් නොකළ යුතු බවත් කී කමල් ගුණරත්න, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වසර ගණනාවක් ආරක්ෂක අංශ සහ පොලිසිය සිදු කළ පරීක්ෂණ මෙන්ම කැපවීම එවැනි ප්‍රකාශ හේතුවෙන් හෑල්ලුවට මෙන්ම අධෛර්යයට පත් වන බව ද අවධාරණය කළේය.

සිංහල බෞද්ධයකු ජනාධිපතිවරයා බවට පත් කර ගැනීමට සහරාන් ඇතුළු මුස්ලිම්වරුන් අට දෙනකු ජීවිත බිලි දෙයි දැයි ද ඔහු ප්‍රශ්න කර සිටියේය. 2021 ඔක්තෝබර් වන විට බන්ධනාගාරගත කර ඇති 231ක් අතරින් 79 දෙනකුට ගම්පහ, පුත්තලම, නුවරඑළිය, කොළඹ, කෑගල්ල, මහනුවර, මඩකලපුව අධිකරණවල චෝදනා විසිපන්දහස් හයසිය පනස්තුනක් යටතේ නඩු 23ක් පවරා ඇත.

“මේ ප්‍රහාරයෙන් විදේශිකයන් 5ක් මිය යෑම ගැන අමෙරිකානු ජාතික බුද්ධි තොරතුරු ආයතනය, ඕස්ට්‍රේලියානු පෙඩරල් පොලිසිය ලංකාවට පැමිණ මෙරට ත්‍රස්ත විමර්ශන අංශය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේනතුව සමඟ එක්ව මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ඇරඹුවා.

මේ සම්බන්ධයෙන් පිටු 71ක වාර්තාවක් ඉදිරිපත් කරමින් ඒ අය අමෙරිකානු ලොස් ඇන්ජලීස් අධිකරණයේ නඩු පවරා තිබෙනවා. එම වාර්තාවෙත් සඳහන් මෙහි ප්‍රධාන මහ මොලකරු නවුෆර් මවුලවී සහ සහරන් හසීම් බව ව්‍යාප්ත කළා.

සහරාන් මිය යෑමට පෙර නිකුත් කළ වීඩියෝපටයේ ඔවුන්ට මුදල් ලැබෙන හැටි, අරමුණ, ඇතුළු සියල්ල සඳහන් කර තිබුණා. මේ පරීක්ෂණ ලෙහෙසි කටයුත්තක් නොවෙයි. අපක්ෂපාතීව මෙහි පරීක්ෂණ කටයුතු තව දුරටත් සිදු කරගෙන යනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස