හම්බන්තොට මුහුදට මෙ.වො. 5000ක විදුලි බලාගාරයක්…! මෙ.වො. 4000ක් සිංගප්පූරුවට විකුණන්න සැලසුම්…!

April 1, 2022 at 11:04 am | by emanisa.lk

විදේශීය ආයෝජනයක් ලෙස හම්බන්තොට මුහුද මත මෙගාවොට් 5,000ක විදුලි බලාගාරයක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බවත්, ඉන් මෙගාවොට් 4000ක් සිංගප්පූරුවට අපනයනය කිරීමට යෝජිත බවත් සූර්යබල, සුළං සහ ජල විදුලිජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක පවසයි.

මෙම ව්‍යාපෘතිය ඔස්සේ නිපදවන ඉතිරි මෙගාවොට් 1000ක ධාරිතාවට මෙරටට ලැබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

රට තුළ විදුලිය නොමැති සමයක මෙවැනි දේ කිරීම ඇතැමුන් විවේචනය කළ හැකි නමුත් මුහුද භාවිත කර නිපදවන විදුලිය අපනයනය කර මුදල් ඉපයිය හැකි නම් රටක් ලෙස එයට සූදානම් විය යුතු බව දුමින්ද දිසානායක කීවේය.

ශ්‍රී ලංකාව මෙතෙක් විදුලිය අපනයනය ගැන නොසිතූ බවත් එමගින් ආදායම් ඉපයිය හැකි බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

දුමින්ද දිසානායක මේ බව පැවසුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී අද (31) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මීට අමතරව අඩු ආදායම්ලාභී පවුල් ලක්‍ෂයක නිවෙස්වල වහල මත කිලෝවොට් 5 බැගින් වන සූර්යබල පද්ධති සවිකර දී මෙගාවොට් 500ක් නිපදවීමේ ව්‍යාපෘතියක් ද මෙම මස තුළ ආරම්භ කරන බව කී දුමින්ද දිසානායක ඒ සඳහා ද විදේශ ආයෝජකයකු ඉදිරිපත්ව සිටින බව පැවසීය.

මෙම ව්‍යාපෘතිය යටතේ නිවෙස් මත සූර්ය පද්ධති සවිකර දී ඔවුන්ට මසකට රුපියල් 2,500 බැගින් වසර 15කුත්, වසර 15 සිට 22ක් දක්වා රුපියල් 7,000කට වැඩි මුදලකුත් ලබාදීමට කටයුතු කරන බව ද හෙතෙම පැවසීය.

එමෙන්ම 2023 වසරේ දී පුනර්ජනනීය විදුලි බලාගාර මගින් මෙගාවොට් 2000 ක විදුලිය නිපදවීමට සැලසුම් සකස් කර තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස