රට ගොඩගත හැකි එක ම නායකයා රනිල් බව ජනතාව පිළිගෙන ඉවරයි…! රට තවත් විනාශ නොකර රනිල්ට භාරදෙනු..! – වජිර….

March 18, 2022 at 11:35 am | by emanisa.lk

වත්මන් පාලනය යටතේ දුක් විඳින සුවහසක් ජනතාවගේ දුක් ගිනි නිවා රට ගොඩ ගත හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ බව අද වන විට සනාථ වී ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පවසයි.

එබැවින් තව දුරටත් රට විනාශ වන තෙක් බලා නොසිට වහාම ඔහුට රට භාර දිය යුතුව ඇති බවයි, එජාප සභාපතිවරයා අවධාරණය කරන්නේ.

2015 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බලයට පත් වන විට ඉන්ධන ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිල විශාල ලෙස ඉහළ ගොස් ජන ජීවිතය කඩා වැටී තිබුණ ද කෙටි කලක් තුළ එම භාණ්ඩවල මිල අඩු කර ජනතාවගේ ආදායම් මාර්ග ඉහළ දමා රට ගොඩනැඟීමට රනිල් වික්‍රමසිංහ ක්‍රියා කළ බව හෙතෙම සිහිපත් කළේය.

වජිර අබේවර්ධන මේ අදහස් පළ කළේ පසුගියදා (16) ගාල්ලේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

“රනිල් වික්‍රමසිංහ මහතා රටේ පාලන බලය අද දැරුවා නම් අපට දුක් විඳින්න සිදු නොවන බවත් එතුමා බලයේ සිටියා නම් මෙවැනි විනාශයකට රට තල්ලු නොවන බවත් ජනතාව කියනවා.

රට ගොඩගැනීම සඳහා නිසි දර්ශනයක්, නිසි වැඩපිළිවෙළක් තිබෙන නායකයා එතුමා බව ජනතාවගේ මතයයි. සාමාජික ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කළ අප ගිය සෑම තැනකම ජනතාවගේ එකම ඉල්ලීම වුණේ රනිල් වික්‍රමසිංහ කෙසේ හෝ පාලන බලයට ගෙන එන ලෙසයි.

රනිල් වික්‍රමසිංහ මහතා හැරුණාම තවත් 224 දෙනෙක් පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. රට පත්ව ඇති මේ විපතින් ගොඩගත හැකි ක්‍රමවේදයක් ඒ මහා කණ්ඩායමට ඉදිරිපත් කළ හැකිව තිබුණා. නමුත් අද මේ රට දිනෙන් දින විනාශයට තල්ලු වෙන ආකාරය දෙස බලන විට ඔවුන්ට විසඳුමක් නැති බව ඔප්පු වෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *