රටට අලුත් ව්‍යවස්ථාවක් හඳුන්වා දීම ආණ්ඩුවේ ප්‍රමුඛතම කාර්යභාරය වන බව විදේශ අමාත්‍ය ජී.ඇල්. පීරිස් පවසයි. ඉදිරි කාලය තුළදී එම කාර්යය සඳහා ප්‍රධාන තැනක් ලබාදෙන බව ද ඇමතිවරයා අද (24) පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.
මේ වන විට රටේ ක්‍රියාත්මක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1978 දී සම්මත කරගත් අතර මේ වනවිට ඊට අඩ සියවසකට ආසන්න කාලයක් ගත වී ඇති බවද ඇමතිවරයා පවසයි. වත්මන් ජනාධිපතිවරයා බලයට පත්වීමේදී, අලුත් ව්‍යවස්ථාවක් සම්මත කරන බවට ජනතාවට පොරොන්දුවක් ලබාදුන් බවත්, ඉදිරි කාලය තුළ එම පොරොන්දුව ඉටු කිරීම සඳහා ජනාධිපතිවරයා බලාපොරොත්තු වන බවත් පීරිස් සඳහන් කරයි.
නව ව්‍යවස්ථාවක් කෙටුම්පත කිරීමට අදාළව පත්කර ඇති කමිටුව සිය අවසන් වාර්තාව සකස් කරමින් තිබෙන බවත් ඉදිරි දින කිහිපය තුළදී එය රජයට බාරදීමට නියමිත බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. ඉන් අනතුරුව එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු පරම්පරා ගණනාවක් පවතින නීතියක් බැවින් ඒ සඳහා සියලු දේශපාලන පක්ෂවල, රටේ බහුතර ජනතාවගේ එකඟතාවය හිමිවිය යුතු බවත්, මේ නිසා නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම සියලු දෙනාගේ සහභාගීත්වයෙන් සිදුකරන බවත් ජී.ඇල්. පීරිස් වැඩි දුරටත් සඳහන් කරයි.