රටේ ආර්ථිකය අද හෙට කඩා වැටෙයි කියා පුන පුනා ප්‍රකාශ කරමින් රටට අහිතකර සිහින දකිමින් සිටින සියලු දෙනාගේ බොළඳ සිහින සියල්ල මේ වසරේ සුනුවිසුනු වී යන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.
ශ්‍රී ලංකාවේ විදේශ නිල සංචිතය මේ වසර නිමා වන විට කිසිවකුත් බලාපොරොත්තු නොවන තරම් ඉහළට ඔසවා තැබීමට දැනටමත් අවශ්‍ය සියලු සැලසුම් සකස් කොට ඇතැයි ද අධිපතිවරයා කීය.
මේ වසරේදී ශ්‍රී ලංකාව විදේශයන්ට ගෙවිය යුතු ණය වාරික හා පොලිය කිසිදු ප්‍රමාදයකින් තොරව ගෙවා දමන බවත්, ඒ පිළිබඳව කිසිවකුත් සැක සංකා ඇති කර ගත යුතු නැති බවත් මහ බැංකු අධිපතිවරයා අවධාරණය කළේය.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ සිල්වා, පාඨලි චම්පික රණවක වැනි අය රටේ ආර්ථිකය කඩා වැටෙයි වැටෙයි කියා දිනපතාම බොළඳ සිහින දකිමින් සිටින බවත්, ඒ සිහින සියල්ල මේ වසරේදී සුනුවිසුනු වී යන බවත් ඔහු පැවසීය.
ශ්‍රී ලංකාව ලබා ගත් දෙස් විදෙස් ණය හා වාරික නිසි කලට වෙලාවට ආපසු ගෙවා දමමින් අත්කරගෙන සිටින කීර්තිය හා ලෝක පිළිගැනීමට අබමල් රේණුවක හානියක් සිදුවීමට ඉඩ නොතබන බව ද නිවාඩ් කබ්රාල් පැවසීය.
මේ වසර පමණක් නොව ලබන වසර තුළ පවා අපේ විදේශ නිල සංචිත ඉහළ නංවා ගැනීමට අපි සූදානම් කළ වැඩපිළිවෙළ පැහැදිලිවම රටට කියන්නත්, ඒ අනුව රටත් ජනතාවත් දිනවීමට ක්‍රියා කරන්නත් සූදානම් බව ද අධිපතිවරයා සඳහන් කළේය.