රට වහන්න…නැත්නම් සංචරණ සීමා දැඩි කරන්න….! යුතුකම සංවිධානයෙන් කොවිඩ් මර්දනයට ජනපතිට යෝජනාවලියක්…..

August 18, 2021 at 9:39 pm | by emanisa.lk

යුතුකම ජාතික සංවිධානය කොවිඩ් මර්දනයෙහිලා ගතයුතු ක්‍රියාමාර්ග ඇතුළත් යෝජනාවලියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමුකර තිබේ. යුතුකම ජාතික සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංගගේ අත්සනින් මෙම යෝජනාවලිය යොමු කර තිබේ.

අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිතුමා,

ශ්‍රී ලංකා ජනරජය.

අතිගරු ජනාධිපතිතුමනි,

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ගතයුතු හදිසි පියවර

අද දින පොලිස්පතිතුමා රට තුළ පැනනැඟී ඇති වසංගත තත්ත්වයට ප්‍රතිචාර ලෙස ප්‍රකාශයට පත් කළ කරුණු මේ පිළිබඳ සුදුසු ආරම්භයක් යැ යි සිතමු. ඒ හා සමඟ ම වෛද්‍ය උපදෙස් පරිදි සති දෙකක කාලයකට රට වැසීම හෝ නොඑසේ නම් දැඩි සංචරණ සීමා පැනවීම කළ යුතු බව අප ගේ අදහස යි. එහි දී රෝගය පැතිරීම පාලනයට පහත පියවර ද ගන්නා මෙන් ඉල්ලා සිටිමු:

1). ප්‍රධාන පොලිස් මුරපොළ ආශ්‍රිත ව ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීමට, අත් හා පාවහන් විෂබීජහරණයට පියවර යෙදීම. ඒ ආශ්‍රිත ව ම දේශීය වෛද්‍ය අමාත්‍යාංශයෙන් ‘සුවධරණි’ වැනි ප්‍රතිශක්තිය වර්ධනය කෙරෙන පානයක් ලබාදීමට කටයුතු කිරීම. අවශ්‍යතාව අනුව මේ ස්ථානවල දී මුඛාවරණයයක් නොමිලේ සැපයීම. මේ සඳහා විවිධ අනුග්‍රාහකයන් සොයාගත හැකි වනු ඇත.

2). මේ ක්‍රියාවලිය ම ප්‍රධාන දුම්රිය ස්ථානවලට, බස් නැවතුම්පොළවලට, වෙළෙඳ සංකීර්ණවලට හා රජයේ කාර්යාල සංකීර්ණයන්ට ඇතුල්වීමේ දී අනුගමනය කිරීම. 50%ක ධාරිතාවක් ඇතුලත අත්‍යාවශ්‍ය ගමන් යා හැකි වන පරිදි පොදු ප්‍රවාහන සේවාවන් කාර්යක්ෂමව පවත්වා ගෙන යෑම.

3). මේ ස්ථානයයන්හි දී හමුවන උණ සහිත රෝගීන් ‘ඇන්ටිජන්’ පරීක්ෂාවන්ට ලක් කර අවශ්‍ය සුදුසු ප්‍රතිකාර සඳහා යොමු කිරීම. මේ ස්ථානයයන්හි දී අහඹු ඇන්ටිජන් පරීක්ෂණ පැවැත්වීම. මේ මඟින් බොහෝ අය ගේ අනවශ්‍ය ගමන්බිමන් ද නවතිනු ඇත.

4). අවශ්‍ය අවම සේවක සංඛ්‍යාව පමණක් සේවයට කැඳවන ලෙස රාජ්‍ය/පෞද්ගලික දෙ අංශයට ම උපදෙස් දීම.

ඒ අනුව දිනකට සේවයේ යෙදිය යුතු උපරිම සේවක සංබ්‍යාව ප්‍රකාශයට පත්කොට, ඒ සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට ආයතන ප්‍රධානීන් මෙහෙයවීම. රාජ්‍ය අංශයේ මෙය නිසියාකාරයෙන් කෙරේ දැ යි පසුවිපරමක් පවත්වා ගැනීම.

5). ස.තො.ස., කාගිල්ස් හා කීල්ස් ආයතන මඟින් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ‘චූන්පාන්’ ක්‍රමයට බෙදාහැරීමට පියවර ගැනීම. රටපුරා එවැනි බෙදාහැරීමේ ක්‍රමවේදයක් ක්‍රියාවට නැඟිය හැකි වෙළෙඳසැල් නිශ්චිත නියාමනයක් යටතේ උනන්දු කරවීම.

6). බස්නාහිර පළාතේ එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් අයට දෙ වන මාත්‍රාව ලබාදීමට ප්‍රමුඛතාව දීම.

7). එන්නත් මාත්‍රා දෙකට ගැලපෙන දේශීය වෛද්‍ය ප්‍රතිශක්තිකරණ ක්‍රමවේදයක් හා සහතිකයක් ජනගත කිරීම. මේ බටහිර හෝ දේශීය වෛද්‍ය හෝ රාජ්‍ය සහතික නොමැති අයට සමාජ සංචරණය සීමා කිරීම.

කොවිඩ් වෛරසයේ පැතිරීම පාලනයට රජය ගතයුතු, ගතහැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බවට ජනතා විශ්වාසය තහවුරු කිරීමට සුදුසු පියවර ගත යුතු ය.

ස්තූතියි!

මෙයට

අවංක ගෙවිඳු කුමාරතුංග
(පාර්ලිමේන්තු මන්ත්‍රී)

සභාපති – යුතුකම ජාතික සංවිධානය

පිටපත්:

1). අතිගරු මහින්ද රාජපක්ෂ අගමැතිතුමාෙ

2). සියලු ම ගරු කැබිනට් අමාත්‍යවරුන්.

3). පොදුජන පෙරමුණ සන්ධානයට අයත් පක්ෂ නායකයින්.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස