රට වැසීමෙන් අර්බුදය තවත් උග්‍ර වෙනවා…! කේවට්ට උපදේශකලා ආර්ථිකය වනසනවා…! මාස් පඩිකාරයෝ උණු දිය හැලියේ කකුළුවෝ වගෙයි…! – අශෝක හඳගම…

June 16, 2021 at 9:51 pm | by emanisa.lk

ප්‍රවීණ සිනමාකරු හිටපු මහ බැංකු නිලධාරී අශෝක හඳගම තැබූ සටහනකි.

සංචරණ සීමා නිසා රජයේ කාර්යාල ඇතුළු බොහෝ සේවා ස්ථාන වල රැකියා කරන අය බොහෝ දෙනෙකු දැන් වැඩට යන්නේ නැත. ගෙවල් වලට වී ඉන්නේ ද නැත. වෙනදා කාර්යාල වල සිටි සෙනඟ දැන් පාරවල් වල ය. ඒ අයට ආර්ථික ප්‍රශ්නයක් ද නැත.

ප්‍රශ්නය ඇත්තේ එදිනෙදා ජීවිකාව සොයාගන්නට පුංචි පුංචි ව්‍යාපාර හෝ අත්‍යවශ්‍ය නොවේ යයි “ආණ්ඩුව හිතා සිටින” නිෂ්පාදන සහ සේවා සපයමින් සිටි අයට ය. පාරේ වෙනදාට වඩා සෙනඟ ය. ඇති සංචරණ සීමාවක් නැත. කොරෝනා ගරනාවකි.

එන්නත යනු ද කොවිඩ් ව්‍යාප්තිය නිත්‍ය වශයෙන්ම නැවතීම සහතික කරන ප්‍රතිකර්මයක් නොවේ. එන්නත පිළිවෙළකට, බහුතරයකට ලබා දුන් රටවල ද කොවිඩ් තැන තැන විටින් විට මතු වෙයි. කොවිඩ් ව්‍යාප්තිය පාලනය කළ හැක්කේ අපගේ පැවැත්ම තුළින් ම පමණි. ඊනියා වසා තැබීමෙන් නෙවෙයි.

මේ විදියට රට වසා තැබීමෙන් තව දුරටත් අර්බුදයට යනු විනා වන අන් යහපතක් නැත. ණය වී හෝ පවත්වා ගන ගිය රටේ විදේශ මුදල් සංචිත සීග්‍රයෙන් ක්ෂය වෙමින් තිබෙයි. රත්වන වතුරේ චූන් වී නටන කකුළුවන් මෙන් ආණ්ඩුවෙන් මාසේ පඩි ගන්නා අයට ටික කලක් මේ නිවාඩුවේ පාරේ ඩෙඟා නැටිය හැකිය.
වැසීම ඇරෙන්නට වෙන විකල්පයක් පරිකල්පනය කරගන්නට බැරි GOMA ඇතුළු උපදේශක මණ්ඩල ආණ්ඩුවට බදු මුදල් ලෙස එකතු වන්නට තිබූ ආදායමට ද කෙලවා තිබෙයි.

සුපර් මාර්කට් ඇතුළු විධිමත් වෙළඳ සැල් පාරිභෝගිකයාගෙන් එකතු කරගන්නා වැට් ඇතුළු බදු ආණ්ඩුවේ ආදායම් ගිණුමට බැර කරයි. බොහෝ සිල්ලර බඩු මුදලාලි ලා එසේ කරන්නේ නැත. විධිමත් වෙළඳ සැල්, ආණ්ඩුවේ කොරෝනා උපදෙස්වලට අනුව පවත්වා ගන යාමට කටයුතු කරයි. මාස්ක් නොදා, අත් නොසෝදා ඒවා ඇතුළට යන්න ට බැරිය. ඒවා අධීක්ෂණය ද කෙරෙයි. හන්දියේ සිල්ලර බඩු කඩේ කටයුතු අධීක්ෂණය කෙරෙන වැඩපිළිවෙළක් නැත.

ඉන් අදහස් කරන්නේ සිල්ලර බඩු කඩ ද වසා දමන්න කියා නොවේ. සිල්ලර බඩු කඩේට අරින්නට අවසර දී සුපර් මාකට් වහන කොවිඩ් මර්දන තර්කය මට නොතේරෙන බවයි.
සුරා බද්ද ආණ්ඩුවට විශාල ආදායමක් ගෙනදුන් ආදායම් මුලාශ්‍රයකි. සුරා සැල්වල වසා ඇත්තේ ඉස්සරහා දොරය. පස්ස ඇරගන හිතු හිතු ගණන්වලට වෙළඳාම සිදු කෙරෙයි. ඒ කෙරෙන වෙළඳාමෙන් සත පහක් ආණ්ඩුවට ලැබෙන්නේ නැත. online මගින් මත්පැන් සැපයීම පිළිබඳ යෝජනාවට GOMA විරුද්ධ වී තිබෙයි. GOMA කියන්නේ එය ‘නරක ආදර්ශයක්’ බවය.

විධිමත් මිලකට විධිමත් සැපයුමක් යටතේ ආණ්ඩුවට බදු ද ගෙවමින් මත් පැන් මිල දී ගැනීම නරකය. පස්සා දොරෙන් වැඩි මිලක් ගෙවා බදු ද අහිමි කොට බීම ‘හොඳ ආදර්ශයකි’. GOMA සිතා සිටින්නේ සුරා සැල් වසා දමා ඇති නිසා බොන එකා නොබී සිල් අරන් ඉන්නවා කියාය.
සල්ලි නැතුව ආණ්ඩුව රිම් එකෙන් යන එක අහන්න දෙයක් නැත.
වසනු වෙනුවට ගනුදෙනු සඳහා සෙනඟ එකතු වන විදිය පිළිබඳ පිළිපැදිය යුතු නිශ්චිත උපදෙස් මාලාවක් ව්‍යාපාරික ස්ථානවලට දී ඒවා පිළිපැදීමේ වගකීම ව්‍යාපාරිකයාට ම පවරා තම ව්‍යාපාරය පවත්වාගන යාමට අවසර දිය හැකි ය. කෑම බීම පමණක් අත්‍යවශ්‍ය භාණ්ඩ වුනු යුගය පසුවී බොහෝ කල් ය.
ඉඳහිට මධු විතක්, කියවන්නට පොත පතක් ද ඒ අතර තිබිය හැකිය.
කොරෝනාත් සමඟ තව කාලයක් ජීවත්වීමට සිදුවන බව දැන් සක්සුදක් සේ පැහැදිලිය. ජීවත් වීම යනු නොමැරී සිටීම පමණක් නොවන බව කවුරුත් තේරුම් ගත යුතුය. කොරෝනා මැද්දේ වුව ජීවත් විය යුත්තේ මිනිසුන් ලෙසය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස