කොවිඩ් වසංගතය ඉදිරියේ ආණ්ඩුව වගේ ම සියලු පාර්ශ්ව ජනතාවගේ ජීවිතාරක්ෂාවට ප්‍රමුඛතාව දිය යුතුයි….! – ගෙවිඳු…

August 6, 2021 at 9:31 am | by emanisa.lk

මේ අවස්ථාවේ ආණ්ඩුව, විපක්ෂය ඇතුළු සියලු පාර්ශ්ව ජනතාවගේ ජීවිතවල ආරක්ෂාවට ප්‍රමුඛතාව ලබා දී තීන්දු තීරණ ගතයුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී, යුතුකම සභාපති ගෙවිඳු කුමාරතුංග පවසයි.

“අද වන විට කොවිඩ් රෝගය ඉතා ම වේගයෙන් පැතිරෙමින් පවතින බව රෝහල් ආරංචි මාර්ග වාර්තා කරනවා. රාගම, කළුබෝවිල, රත්නපුර, කරාපිටිය රෝහල්වල හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරල තියෙනවා. මේ තත්ත්වය බැරෑරුම් ලෙස සලකා බලා රජය මැදිහත් වී ඉතා ඉක්මන් තීන්දු තීරණ අරගෙන මේ වසංගත තත්ත්වය පාලනය කළ යුතුයි.

මේ වන විට ජනාධිපතිතුමාගේ මැදිහත්වීමෙන් එන්නත්කරණ ක්‍රියාවලිය ඉතා ම සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙනවා. එවැනි පසුබිමක රට විවෘත කිරීමේ අවශ්‍යතාව මත ම වසංගත තත්ත්වයට නොගැළපෙන ආකාරයෙන් ප්‍රතිචාරයක් දැක්වුවහොත් සමස්ත ක්‍රියාවලිය ම අපතේ යාමේ අවදානමක් මතුව තිබෙනවා. ඒ නිසා රට විවෘත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ තීන්දු එන්නත්කරණයේ සාර්ථකත්වය සහ ජනතාවගේ ආරක්ෂාව ගැන සිතා ගත යුතු බව අප විශ්වාස කරනවා.

හෙට කොතලාවල පනත විවාදයට ගන්නේ නෑ. රජය ඒ පිළිබඳ සාකච්ඡාව සඳහා කාලය ලබා දී තිබෙනවා. ඒ වගේ ම රජය ගුරු වැටුප් සම්බන්ධයෙන් ඉදිරි අයවැයෙන් තීන්දුවක් ගන්නා බවත් රජය ප්‍රකාශ කරලා තියෙනවා. ඒ නිසා සියල්ලට පෙර මේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂාව මුල් තැන තියල තීන්දු තීරණ ගන්න කියල උද්ඝෝෂණ කරන හිතවතුන්ගෙනුත් ඉල්ලා සිටිනවා.

කොතලාවල පනත පිළිබඳ සිද්ධියට මැදිහත් වුණා වගේ ම ගුරු වැටුප් ප්‍රශ්නයටත් අපි මැදිහත් වෙනවා. සෞභාග්‍යයේ දැක්මෙත් වැටුප් විෂමතා පිළිබඳ විශේෂයෙන් සඳහන් වෙන්නේ ගුරුවරුන්ගේ විතරයි. ගුරුවරුන්ට සාධාරණයක් විය යුතු බව එම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කාරණයක්. ඒ සඳහා රජය මැදිහත් වෙයි, ඒ සඳහා රජය මැදිහත් විය යුතුයි කියන ස්ථාවරයේ අපි ඉන්නවා.

ඒ කොහොම වුණත් මේ තීරණාත්මක මොහොතේ රටම එක්සත්ව කටයුතු කළ යුතුයි. මේ වෙලාවේ රෝහල්වලට දරාගත නොහැකි මට්ටමට රෝගය ව්‍යාප්ත වෙනවා. රෝහල් කාර්ය මණ්ඩලවලටත් රෝගය ව්‍යාප්ත වෙලා එහි පාලනය අපි අතින් ගිලිහුණොත් අවුරුද්දක් තිස්සේ අප දැරූ සියලු ප්‍රයත්න අපතේ යනවා.

ඒ පිළිබඳ බැරූරුම් ලෙස කල්පනා කරල කටයුතු කරන්න කියලා අපි සියලු පාර්ශ්වවලින් ඉල්ලා සිටිනවා. ආණ්ඩුව, විපක්ෂය, විශ්වවිද්‍යාල දූපුතුන් ඇතුළු සියලු දෙනා රට හමුවේ ඇති අභියෝගය තේරුම් අරගෙන රටට ප්‍රමුඛතාව දී කටයුතු කිරීම තමයි වැදගත්.

ඇතැම් විරෝධතාවල සාධාරණත්වයක් ඇති බව අපිත් පිළිගන්නවා. කොතලාවල පනත පිළිබඳ සංශෝධන අපි දැනටමත් රජයට භාර දීලා තියෙනවා. ආණ්ඩුවට මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ජුලි 08 වෙනිදා ම එය සම්මත කරගන්න පුළුවන්කම තිබුණා. ඒ සඳහා 2/3ක් අවශ්‍ය නෑ, අවශ්‍ය 1/2 බලයක් විතරයි. නමුත් අපි කළ ඉල්ලීම්වලට ඇහුන්කම් දීලා සංශෝධන සඳහා ආණ්ඩුව අවස්ථාව ලබා දුන්නා. ඒ වගේ ම හෙටත් පනත් කෙටුම්පත ඉදිරිපත් නොකර ඒ සඳහා තවත් කාලය ලබා දී තිබෙනවා.

ඉතින් රජය වගේ ම සියලු ම පාර්ශ්ව මේ තීරණාත්මක වෙලාවේ රටේ රෝහල් පද්ධතියේ ධාරිතාවත් ඉක්මවා යන ආකාරයට ව්‍යාප්ත වන මේ වසංගත තත්ත්වය පාලනය කර ගැනීමට ප්‍රමුඛතාව ලබා දිය යුතුයි කියලා අපි විශ්වාස කරනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස