කාබනික පොහොර වැඩසටහන සාර්ථක නෑ…! රජයේ නිලධාරීන් පොහොර සමාගම්වලට කඩේ යනවා…! ඊළඟ කන්නෙට පෝර නැති වුණොත් ආණ්ඩුව ඉවරයි…! – පොහොට්ටු මන්ත්‍රී….

August 17, 2021 at 9:00 am | by emanisa.lk

රජයේ නිලධාරීන් කාබනික පොහොර වැඩසටහන සාර්ථක කර ගැනීමට අවශ්‍ය සහයෝගය ලබා නොදෙන බවත් කාබනික පොහොර වැඩසටහන මහ පොළොවේ ක්‍රියාත්මක නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්. ඩී. වීරසිංහ පවසයි.

“තැන් විස්සකට ගියාම එක තැනක විතරයි කොම්පෝස්ට් හදනවා කියලා ටිකක් ගොඩගහගෙන ඉන්නවා මේක තමයි මගෙ වැඩේ කියලා. ඒගොල්ලො කාටවත් කවුරුවත් ගිහිල්ලා උපදෙසක් දීලා නෑ හදන්න ඕනෙ මෙහෙමයි මෙහෙමයි කියලා. දැන් තව මාස දෙකයි තියෙන්නෙ. මම මේ දිස්ත්‍රික්කයේ ගොවියෙක්ගෙ පුතෙක්. මම අදටත් ගොවිතැන් කරන්නෙ. මං ඉන්නෙ ගොවිතැන් කරන ගමක් මැද. මගේ ගමේ අද වෙනකොට එක ගොවි මහත්තයයි – මම ඊයෙත් ගියා, ඇහුවා – ඉන්නෙ කොම්පෝස්ට් හදන. මම ඇහුවා ඔයාට කවුද කිව්වෙ කියලා, මට කවුරුත් කිව්වෙ නෑ පුතා මං මේ කළේ මේ පාර පොහොර නැතිවුණොත් මොනවාහරි කරගන්න ඕනෙ නිසා කිව්වා.

ඒක නිසා මම ගෞරවයෙන් ඉල්ලනවා ඇමතිතුමා මේ වැඩේ විශ්වාස කරන්න එපා, ගොවියො පොහොර හදනවා කියන එක. අනිවාර්යයෙන්ම මේ කන්නෙ පටන් ගන්නකොට කොහෙන් හරි ගෙනල්ලා මේ ගබඩාවල පොහොර ගබඩා කරන්න, නැත්නම් අපට පාරෙ යන්න වෙන්නෙත් නෑ. මේ අපි බොහොම අමාරුවෙන් හදාගත්ත ආණ්ඩුව. මම මේ කියන්නෙ මම මහපොළවෙ ඉන්න නිසා. මේ මෙතන ඉන්න නිලධාරීන් දන්නවා, අවංකවම හදවතට තට්ටු කරලා බලන්න. අද වෙනකොට කොතනද මේ කාබනික පොහොර වැඩේ තියෙන්නෙ කියලා.

කොච්චර ජනාධිපතිතුමා කිව්වත්, ඇමතිතුමා, ආණ්ඩුකාරවරිය කොච්චර කිව්වත් මහ පොළවේ මේක යතාර්ථයක් බවට පත්වෙලා නෑ. ගොවියා තවම ඉන්නෙ අපට කොහොමහරි අවසාන මොහොතෙ රසායනික පොහොර දෙයි කියලා. ඒ වගේම සමහර නිලධාරීන් ගිහිල්ලා කියලා තියෙන්නෙ උඹලා පොහොර හදන්න යන්න එපා, ආණ්ඩුවෙන් පොහොර ගේනවා, ගෙනාවාට පස්සෙ උඹලාගෙ ඔය පොහොරවලට කරන්න දෙයක් නෑ කියලා.

බොරුවට අපි මෙතන ඇවිල්ලා ඇමතිතුමා ඉස්සරහා ආණ්ඩුකාරතුමිය ඉස්සරහා බොරුවට අපි මේ හරි වැඩේ ඕකේ, අපි කාබනික පටන් ගන්නවා කියලා ඊට පස්සෙ වැඩේ වෙන්නෙ නැත්නම් අපේ මේ වැඩේ අසාර්ථක වෙනවා. ජනාධිපතිතුමා අසාර්ථක වෙන්න නෙවෙයි අපට ඕනෙ. ඒකයි මං මේ ටික කිව්වෙ, මේ පොළවෙ තියෙන ඇත්ත කිව්වෙ.”

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්. ඩී. වීරසිංහ මහතා මේ බව පැවසුවේ පසුගියදා (13) අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති කාබනික පොහොර වැඩසටහන පිළිබඳ සාකච්ඡාවකට එක්වෙමිනි

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස