කාබනික පොහොර භාවිතයට ගත් තීන්දුව කිසි විටක හකුළන්නේ නෑ…! – ජනපති මහ සඟරුවන අබියස සපථ කරයි…

June 27, 2021 at 8:08 pm | by emanisa.lk

රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිතය සඳහා ගත් පියවර කිසි විටෙකත් පසුපසට ගන්නේ නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වරකාගොඩ ශ්‍රී ඥානරතන අස්ගිරි මහා නායක හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය හමුවේ අද සඳහන් කළේය.

එම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමේ දී ගොවීන් අපහසුතාවට පත්වීමට ඉඩ නොතබන බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

මෙම තීරණය නිරෝගිමත් අනාගත පරපුරක් වෙනුවෙන් ගත් එකක් බවත්, රසායනික පොහොර භාවිතය නිසා දිවයිනේ ප්‍රදේශ රැසක ගොවීන් වකුගඩු රෝගය ඇතුළු බෝ නොවන රෝග රැසකින් පීඩා විඳින අතර එමගින් පරිසරයට සිදුවන හානිය අති විශාල බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.

රසායනික පොහොර ආනයනය සඳහා රජය වාර්ෂිකව ඩොලර් මිලියන 400කට අධික මුදලක් රජය වැය කරන අතර කාබනික පොහොර භාවිතය මගින් විදේශීය ආයතන වෙත ඇඳී යන එම මුදල රටේ ගොවි ජනතාව වෙත ලබා දීමට හැකිවන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ අද පෙරවරුවේ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක හිමියන් ඇතුළු මහා සංඝරත්නය බැහැදුටු අවස්ථාවේ මේ බව කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *