තමාට ලැබුණු මන්ත්‍රි ධුරය සාංඝික මන්ත්‍රි ධුරයක් බව අතුරලියේ රතන හිමි පවසයි.
අපේ ජනබල පක්ෂයේ පුරප්පාඩුව පැවැති මන්ත්‍රි ධුරය සඳහා පත්කෙරුණු අතුරලියේ රතන හිමි කොළඹ දී ඊයේ (20) පැවැති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියේ ය.
වැඩිදුරටත් අදහස් දැක්වූ රතන හිමියෝ මෙසේද පැවැසූහ.
“මම ආණ්ඩු පක්ෂයේ අසුන් ගත්තත්, විපක්ෂයේ අසුන් ගත්තත් හරි දේ වෙනුවෙන් පෙනී ඉන්නේ. විශේෂයෙන්ම කියන්න කැමැතියි මේ මන්ත්‍රි ධුරය සාංඝික මන්ත්‍රි ධුරයක්. අපිට ස්වාධීනව වැඩ කරන්නයි මේ බලය දීලා තියෙන්නේ. අපි වෙනම පක්ෂයක්, වෙනම බලවේගයක්. ඒ බලවේගයට පණ පොවන්න මිසක් කාගේවත් කරුවක් වෙන්න නොවෙයි මම පාර්ලිමේන්තුවට යන්නේ.
ජනාධිපතිට නොවෙයි මම උදව් කරන්නේ. ජනාධිපතිගේ වැඩපිළිවෙළටයි. එතුමා රටට ඉදිරිපත් කරපු දැක්මක් තිබෙනවා. ඒ දැක්ම ඉස්සරහට තල්ලු කිරීම සඳහා අධිෂ්ඨානශීලිව මම කටයුතු කරනවා. එතුමා ගැන බලාපොරොත්තුවක් අපට තවම තිබෙනවා. නමුත් අවාසනාවට එතුමාට ශක්තිය දෙන්න පිරිසක් නැති බවයි අපට පේන්නේ.”