පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට ඉස්ලාමීය ත්‍රස්තවාදීන් සූදානම් වීම පිළිබඳ තොරතුරු පාකිස්තාන බුද්ධි අංශ විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් බව මෙරට පාකිස්තාන මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරාල් මුහම්මද් සහද් ඛටිටක් අනාවරණය කරයි.
පසුගියදා ‘දෙරණ’ රූපවාහිනියේ හයිඩ් පාක් (Hyde Park)වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව හෙළි කර තිබේ.
“අප රටවල් දෙක දශක ගණනාවක් තිස්සේ බුද්ධි තොරතුරු හුවමාරු කරගත්තා. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සූදානම්වීම පිළිබඳ පාකිස්තානය ශ්‍රී ලංකාවට තොරතුරු ලබාදී තිබෙනවා. එය එක් කරුණක් පමණයි. හය දහසකට වැඩි ශ්‍රී ලාංකික හමුදා සාමාජිකයන්ට පාකිස්තානයේ යුද පුහුණුව ලබාදී තිබෙනවා.”
එසේ පවසන මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවේ පරිපාලන කටයුතු වෙනුවෙන් විශ්‍රාමික හමුදා නිලධාරීන්ගේ සේවය ලබා ගැනීම අගය කරමින් අදහස් පළ කළේය. එසේම හිටපු හමුදා නිලධාරියකුද වන ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රට නිවැරදි දිශාවකට මෙහෙය වන බව තමාගේ අදහස බවද ඔහු මෙහිදී කියා සිටියේය.