ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණය පැවැත්වීමට දින වකවානු නියම කර නියෝගයක් නිකුත් කළාට පසුව එම නියෝගය වෙනස් කිරීම හෝ අස්කර ගැනීම කළ නොහැකි බවත් ඒ සඳහා ඔහුට ව්‍යවස්ථාවෙන් බලය පැවරී නැති බවත් අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඊයේ (01) සඳහන් කළේය.
අගවිනිසුරුවරයා එම අදහස පළ කළේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම් විභාග කරන පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ පෙත්සම්කරුවන් කිහිපදෙනකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් කරුණු ඉදිරිපත් කරමින් සිටියදීය.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති නියෝග කළාට පසුව මැතිවරණ පැවැත්වීමේ සම්පූර්ණ ක්‍රියාවලිය සිදුවන්නේ මැතිවරණ කොමිසම යටතේ බවත් කිසියම් හේතුවක් නිසා මැතිවරණය පැවැත්වෙන දිනය මැතිවරණ කොමිසම විසින් වෙනස් කරනු ලැබුවහොත් කොමිසම ගත් එම තීරණයට මැදිහත් වීමටත් ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් බලය පැවැරී නැති බවත් අගවිනිසුරුවරයා මෙහිදී පෙන්නා දුන්නේය.
ජනාධිපති නීතිඥ සුමන්තිරන් දිගින් දිගටම කියා සිටියේ ජනාධිපති නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව මාස 3ක් ඇතුළත මැතිවරණය පැවැත්වීම අනිවාර්යයෙන්ම සිදුකළ යුතු බවයි. කවර හේතුවක් උඩ හෝ එසේ කිරීමට නොහැකි වුණා නම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති නිකුත් කළ නියෝගය අවලංගු වන බවත් මැතිවරණය කල්දැමීමට මැතිවරණ කොමිසමට බලයක් නැති බවත් ඔහු කීය.
මාස 3ක් ඇතුළත මැතිවරණය පැවැත්වීමට නොහැකි වූවා නම් ජනාධිපති නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු වන බැවින් ඔහු විසින් කළ යුතුව තිබුණේ අලුත් ගැසට් නිවේදනයක් නිකුත් කිරීම බවත් ජනාධිපති නීතීඥ සුමන්තිරන් පැවැසීය.
aruna