පුරාවිද්‍යා උරුමයන් කොන්ක්‍රීට් කරන යුගයක් අපි පසුකළා…! අපේ ජාතික උරුමය වනසන්න කිසිවෙකුට ඉඩ තබන්නේ නෑ….! – අගමැති මහින්ද…

July 7, 2021 at 4:24 pm | by emanisa.lk

අපේ රටේ උරුමය විනාශ කරන්න කිසිවෙකුටත් ඉඩ තබන්නේ නැති බව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (07) දින අවධාරණය කළේය.

131වැනි ජාතික පුරාවිද්‍යා සැමරුම් උළෙලට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අරලියගහ මන්දිරයේ දී මේ බව සඳහන් කළේය.

“නැගෙනහිර පළාත කියන්නේ පුරාවිද්‍යාත්මක ස්ථාන රාශියක් පිහිටා ඇති භූමියක්. සේරුවාවිල, මුහුදු මහා විහාරය, ගිරිගඩුසෑය, ලංකාපටුන, කෝනේෂ්වරන් වගේ ඓතිහාසික ස්ථාන රැසක් එහි තිබෙනවා. හැබැයි විවිධ හේතූන් නිසා ඒ ස්ථාන කාලයක් පුරාවට තර්ජනයන්ට ලක්වෙමින් තියෙනවා.

සමහර කාලවල මේ රට පාලනය කළ අයත් මේවා විනාශ වෙන්න දීලා බලාගෙන හිටියා. ඒ අය ඇහුවා පුරාවිද්‍යා ස්ථානවලින් මොනවා කරන්න ද කියලා අහපු යුගයක් තිබුණා. කවුරු හිටියත් මොකද ඇහුවා. ස්මාරක උඩ කොන්ක්‍රීට් දාලා බැමි බැන්දා කිව්වත් ඇස් පියන් හිටියා.

ඒවා ගැන අමුතුවෙන් කියන්න උවමනා නැහැ. හැබැයි ජනතාවට මේවා කවදාවත් අමතක වෙන්නෙ නැහැ කියලා මම විශ්වාස කරනවා. මේ දේවල් අපේ රටේ උරුම. ඒවා විනාශ කරන්න කාටවත් ඉඩදෙන්න බැහැ. ඉඩ තියන්නෙත් නැහැ.

අපේ ජනාධිපතිතුමත්, පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කරගන්න දිවා රෑ වෙහෙසෙන නායකයෙක්. එතුමා ඒ ස්ථානවලට ගිහිල්ලා, ඒ තැන් විනාශ වෙන එක වළක්වන්න පියවර ගත්තා. ඒ වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධන බලකායක් පවා අද පිහිටුවලා තිබෙනවා.

ඒ අනුව තමයි මුහුදු මහා විහාරය වගේ රැකගත යුතු භූමිය අද මේ තරමින්වත් ආරක්ෂා වෙලා තියෙන්නේ. එම ‌ ඓතිහාසික ස්ථාන ජාතික උරුමයන්. ඒක එක ජාතියකට එක ආගමකට උරුමවෙච්ච දේවල් නෙමෙයි. මේ රටේ උරුමය.

ඒ නිසා මේ තැන් ආරක්ෂා කරද්දි ජාති ආගම් ජනවර්ග කියලා බෙදීම් ඇතිකර ගත යුතු නැහැ. පුරාවිද්‍යා ස්ථාන විනාශ කරන්න කවුරුහරි පියවර ගන්නවා නම් ඒ අයට එරෙහිව දඬුවම් දිය යුතුයි. ඒ දඬුවම් ප්‍රමාණවත් නැත්නම් ඉදිරියේ දී ඒ පනත් සංශෝධනය කිරීමට අපට හැකියාව තිබෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස