2025 වන විට ශ්‍රී ලංකාවේ ඖෂධ අවශ්‍යතාවෙන් 50%ක් රටේ නිපදවනවා….! වාර්ෂිකව ඩොලර් මිලියන 100ක ඖෂධ අපනයනය කරනවා….! – ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය…

February 18, 2021 at 5:03 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවේ ඖෂධ අවශ්‍යතාවෙන් 50%ක් 2025 වන විට සැපයීමටත්, 2030 වන විට ඩොලර් බිලියනයක අපනයන ආදායමක් ඉපැයීමටත් සහතික වන බව ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

ශ්‍රී ලංකාවේ දේශීය ඖෂධ නිෂ්පාදන කර්මාන්තයට වසර 65ක් පිරීම නිමිත්තෙන් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සංගමය මේ බව සඳහන් කළේය.

දේශීය ඖෂධ නිෂ්පාදන කර්මාන්තය හා සම්බන්ධ ප්‍රධානම පෞද්ගලික ඖෂධ නිෂ්පාදන සමාගම් 10ක් සෞඛ්‍ය අමාත්‍යංශය සමඟ ඖෂධ මිල දී ගැනීමේ ගිවිසුම් සඳහා එළඹ සිටින අතර වර්තමානයේ දී රජයේ රෝහල්වල බාහිර රෝගී අංශයන්හි ඖෂධ අවශ්‍යතාවයෙන් 24%ක් සම්පූර්ණ කිරීමට, ඒ හරහා හැකිවී තිබේ. එමගින් වාර්ෂිකව රට තුළ ඉතිරි වන විදේශ විනිමය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 30ක් පමණ වන බව ද ගණන් බලා තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශය සමඟ අත්සන් කර ඇති මෙම ගිවිසුම් ප්‍රකාරව, දේශීය ඖෂධ නිෂ්පාදකයෝ මේ වනවිට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 88ක් නිෂ්පාදනය කිරීමේ නිරතව සිටිති. 2014 වසරේදී එම ගිවිසුම ඇති කරගනු ලැබුවේ වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ නායකත්වය යටතේ සෞඛ්‍ය සහ කර්මාන්ත අමාත්‍යංශවල සහයෝගීතාවෙනි. ඒ හරහා දේශීය ඖෂධ අවශ්‍යතාවෙන් 10%ක් සම්පූර්ණ කරගැනීම මූලිකව අරමුණු කෙරිණි. මෙම සමාගම් 10 හරහා වාර්ෂිකව අපනයනය කෙරෙන ඖෂධවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 10කි.

ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමයේ ඉලක්කය වී ඇත්තේ වර්ෂ 2025 වන විට දේශීය ඖෂධ අවශ්‍යතාවයෙන් 50%ක් සපුරාලීම ය. ඒ යටතේ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 300කට අධික ප්‍රමාණයක් දේශීයව නිපදවීමටත්, වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක පමණ විදෙස් විනිමය ප්‍රමාණයක් වාර්ෂිකව රට තුළ ඉතිරි කරගැනීමටත් අපේක්ෂිත ය. ඊට අමතරව එම කාලය තුළ සෑම වසරකම ඩොලර් මිලියන 100ක විදෙස් විනිමය ප්‍රමාණයක් ඖෂධ අපනයනය හරහා රටට උපයා දීමටත්, 2030 වසර වනවිට එම ප්‍රමාණය වාර්ෂිකව ඩොලර් බිලියනය දක්වා ඉහළ නැංවීමටත් සංගමය බලාපොරොත්තු වේ.

ඖෂධ පෙති වර්ග, කරල්, දියර ඖෂධ, ඩ්‍රයි පවුඩර් සස්පෙන්ෂන්ස්, ඩ්‍රයි පවුඩර් ඉන්හේලර් කැප්සියුල්, මාත්‍රාව මැන බැලිය හැකි ඉන්හේලර්, නේසල් ස්ප්‍රේ, කැප්සියුල තුළට ඇතුළු කරන පෙලට්ස්, ආලේපන වර්ග, සහ ඩ්‍රයි පවුඩර් ඉන්ජෙක්ටබල් ආදී විවිධ ඖෂධ වර්ග නිපදවීමේදී මෙම අන්තර්ජාතික සබඳතා ද මහත් සේ ප්‍රයෝජනවත් වී ඇත. විශේෂයෙන්ම කැප්සියුල තුළට ඇතුළු කරන පෙලට්ස්, සෙෆලෙක්සින් කැප්සියුල්, සෙෆලෙක්සින් ඩ්‍රයි පවුඩර් සස්පෙන්ෂන් බෝතල් සහ ආඝ්‍රාණය කිරීමට ගන්නා මාත්‍රාව මැනිය හැකි ඩ්‍රයි පවුඩර් කැප්සියුල් ආදිය ඒවාටම වෙන් වූ කර්මාන්තශාලාවල නිෂ්පාදනය කෙරේ.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස