කරුංකා ගම්මිරිස් ජාවාරම්කරුවන්ගේ වැඩබලන රේගු අධ්‍යක්ෂ පිළිනොගනී! දිගටම අකුරට වැඩ! දිනක පාඩුව බිලයන 3ක්!

February 1, 2019 at 1:08 pm | by admin

රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයෙන් පී.එස්.එම්. චාර්ල්ස් මහත්මිය ඉවත් කොට තාවකාලිකව එම ධුරයේ වැඩ බැලීමට පත් කළ මුදල් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එච්.ජී. සුමනසිංහ පත් කිරීමේ තීරණය තමන් නොපිළිගන්නා බව රේගු අධිකාරි සංගමයේ සභාපති උදිත රණසිංහ පවසයි.

රේගු වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල්වරිය හෝ එසේත් නොමැති නම් සුදුසුකම් ලත් රේගු සේවක ජේ‍යෂ්ඨ නිලධාරියකු එම තනතුරට පත් කළ යුතු බවයි. එසේත් නොමැති නම් අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ග අඛණ්ඩව අනුගමනය කරන බවද ඔවුහු අවධාරණය කරති.

හම්බන්තොට වරායෙන් මුදා හරින භාණ්ඩවල ලිපි ලේඛන සකස් කිරීමේ කටයුත්තද අකුරට වැඩකිරීමේ ක්‍රියාමාර්ගය යටතේම ක්‍රියාත්මක කෙරෙන නිසා එම කටයුතුවල යම් ප්‍රමාදයක් ඇති විය හැකි බව රේගු අධිකාරි සංගමයේ සභාපතිවරයා “මව්බිම” කළ විමසීමකදී කියා සිටියේය.

භාරදූර කාර්යක් ඉටුකර මෙවැනි ආයතනයක් තුළ වැඩ කෙරෙනුයේ විශාල හැදැරීමකින් සැලසුම් කිරීමෙන් පසු බවත් ඒ සඳහා දීර්ඝ කාලයක් ගත වන බවත් හෙතෙම අවධාරණය කරයි. රේගු අධ්‍යක්‍ෂ ජනරාල් චාර්ල්ස් මහත්මිය පත් කොට තවමත් ගත වී ඇත්තේ අවුරුද්දයි මාස දෙකක් වැනි කෙටි කාලයක් වුවද ඇය යම් සැලසුමකින් යුතුව වැඩ කළ බවද ඉන් ඇතැම් පිරිස්වලට යම් යම් ගැටලුකාරී තත්ත්වයන් ඇති වූ බවත් හෙතෙම පවසයි.

විශාල අගය කිරීමක් ඇතිව ඇය පත් කළ ද බාහිරින් දක්නට තරම්වත් කිසිදු වරදක් නොමැතිව එකී ධුරයෙන් ඉවත් කිරීම අසාධාරණ බවත් හෙතෙම අවධාරණය කරයි. යම් හෙයකින් ඇගේ ධුර කාලය තුළ සිදු කළ වංචා දූෂණ හෙළි වී ඇය ඉවත් කළේ නම් එය සාධාරණ වුවත් එසේ නොමැතිව හදිසියේම ඇය ධුරයෙන් පහ කිරීම මඟින් රාජකාරි කටයුතු නිසි අයුරින් සිදුකරන රේගු නිලධාරීන් තුළ අවිනිශ්චිත භාවයක් මතුව ඇති බවත් හෙතෙම පවසයි.

මෙය පදනම් විරහිත අගතිගාමී ක්‍රියාවක් නිසා එයට විරෝධය පළ කරමින් අකුරට වැඩ කිරීමට රේගු ආනයන අංශයේ නිලධාරීන් අනුගමනය කරන වෘත්තීය ක්‍රියාමාර්ගය මහජනතාවට පීඩාවක් වුවද රාජකාරි කිරීමට යහපත් වාතාවරණයක් නොමැතිව ඇති වූ බාධා නිරවුල් කර ගැනීම උදෙසා මෙය කළ යුතු තැනට පත්ව ඇති බවත් හෙතෙම දැඩිව අවධාරණය කළේය.

ඊයේ දිනයේ අකුරට වැඩ කිරීම නිසා සිදුව ඇති පාඩුව රුපියල් බිලියන 03කට අධික බව වාර්තා වන අතර අකුරට වැඩ කිරීම අඛණ්ඩව සිදුවෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *