සිරස ITN සහ ජාතික රූපවාහිනිය මැතිවරණ නීති බල්ලට දමයි! සජිත්ට පැල් බැඳගෙන කඩේ යන හැටි සමීක්ෂණයකින් හෙළි වෙයි!

October 21, 2019 at 9:18 pm | by emanisa.lk

රජයේ රූපවාහිනී නාළිකා වන ජාතික රූපවාහිනිය සහ ස්වාධීන රූපවාහිනිය මෙන්ම කිලි මහාරාජාට අයත් සිරස නාළිකාව ද සියලු මාධ්‍ය ආචාර ධර්ම සහ මැතිවරණ නීති උල්ලංඝනය කරමින් එජාප ජනාධිපති අපේක්ෂකයාගේ ප්‍රචාරණ කටයුතු උදෙසා විශාල ගුවන් කාලයක් වෙන් කරන බව අනාවරණය වී තිබේ.

සිංහල මාධ්‍ය පුවත්පත් සහ නාළිකාවල මාධ්‍ය ආචාර ධර්ම රැකීම පිළිබඳ සමීක්ෂණ කරන ETHICS EYE නම් සංවිධානයක් ජනාධිපතිවරණ සමයේ ඒ ඒ අපේක්ෂකයන්ගේ ජනරැලි සඳහා ඒ ඒ නාළිකා විසින් සිය ප්‍රවෘත්ති විකාශය තුළ ලබා දෙන කාලය පිළිබඳ සිදුකළ සමීක්ෂණයක දී මෙම තොරතුරු අනාවරණය වී තිබේ.

එහිදී ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනා අතරින් සජිත් ප්‍රේමදාසට සිරස නාළිකාව තප්පර 700 ඉක්මවා කාලයක් ලබා දෙන අතර ගෝඨාභය රාජපක්ෂට ලබා දී ඇත්තේ ඉන් අඩක් එනම් තප්පර 360ක පමණ කාලයකි. ප්‍රධාන අපේක්ෂකයකු නොවන අනුර කුමාර දිසානායකට ද තප්පර 300කට වඩා ලබා දී තිබේ.

ස්වාධීන රූපවාහිනිය සජිත් ප්‍රේමදාසට තප්පර 500ක් වෙන් කරන විට ගෝඨාභය රාජපක්ෂට ලබා දී ඇත්තේ තප්පර 100කි. අනුර දිසානාකට ද තප්පර 90ක් පමණ ලබා දී තිබේ.

ජාතික රූපවාහිනිය සජිත් ප්‍රේමදාසට තප්පර 750ක් පමණ ලබා දී ඇති අතර ගෝඨාභය රාජපක්ෂට තප්පර 200ක්වත් ලබා දී නැත. අනුර දිසානායකට තප්පර 90ක් ලබා දී තිබේ.

මෙම නාළිකා තුනට සාපේක්ෂව දෙරණ සහ හිරු නාළිකා ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාට සාපේක්ෂව සමාන ගුවන් කාලයක් ලබා දීමට උත්සාහ කර තිබේ.

හිරු නාළිකාව ගෝඨාභය රාජපක්ෂට තප්පර 560ක් වෙන් කරන විට සජිත් ප්‍රේමදාසට තප්පර 420ක් පමණ ලබා දී තිබේ. දෙරණ නාළිකාව ගෝඨාභය රාජපක්ෂට තප්පර 495ක් ලබා දෙන විට සජිත් ප්‍රේමදාසට තප්පර 480ක් පමණ ලබා දී තිබේ.

මේ අනුව ගෝඨාභය රාජපක්ෂ පාර්ශවයට සහාය දක්වන බව කියන හිරු සහ දෙරණ සිය ප්‍රතිවාදී කඳවුරේ අපේක්ෂකයාට ද සාධාරණයක් ඉටු කිරීමට කටයුතු කර ඇති අතර ජනතාවගේ බදු මුදල්වලින් ක්‍රියාත්මක වන රජයේ නාළිකා මෙන් ම සිරස නාළිකාව ද ඉතාම පක්ෂපාතී ලෙස සජිත් ප්‍රේමදාස වෙනුවෙන් සිය ගුවන් කාලය වෙන්කරන බව තහවුරු වෙයි.

රාජ්‍ය මාධ්‍ය පක්ෂපාතී ලෙස කටයුතු කිරීම පිළිබඳ පාර්ශව කිහිපයක් මැතිවරණ කොමිසමට පැමිණිලි කළ ද මැතිවරණ කොමසාරිස්වරයා පෞද්ගලික මාධ්‍ය වෙත උපදෙස් ලබා දීම හැර ඵලදායි පිළියමක් යොදා නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස