සියලු රාජ්‍ය/පෞද්ගලික ආයතන සිය සේවක ආරක්ෂාව භාරගත යුතුයි…! කොවිඩ් ආසාදිත වුණොත් ප්‍රතිකාර කිරීමත් ආයතනය භාරගත යුතුයි…! – ජනපති…

May 22, 2021 at 7:47 am | by emanisa.lk

රජයේ හෝ පෞද්ගලික ආයතනවල සේවකයන් සම්බන්ධව සිදු කරන පීසීආර් පරීක්ෂණවල ප‍්‍රතිඵලවලින් ආසාදිතයකු හඳුනා ගතහොත් එම ආසාදිතයන්ට ප‍්‍රතිකාර කිරීමේ වගකීම අදාළ ආයතනයට ම සෘජුව පැවරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සෞඛ්‍ය බලධාරීන්ට ඊයේ (21) උපදෙස් දුන්නේය.

කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බළකාය සමග ඊයේ පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා ඇමැතිවරුන් සහ අදාළ නිලධාරීන් දැනුවත් කරමින් මේ බව ප‍්‍රකාශ කළේය.

සංචරණ සීමා පැනවෙන කාලයේ දී කර්මාන්තශාලා අඛණ්ඩව පවත්වා ගෙන යෑම, ඔසුසල් විවෘතව තැබීම, බේකරි නිෂ්පාදන අඛණ්ඩව සිදුකිරීම සහ බෙදාහැරීමට ක‍්‍රමවේදයන් සැකසීම, නැව් භාණ්ඩ බෙදාහැරීමේ ආයතන විවෘතව තැබීමට පියවර ගත යුතු බව සඳහන් කළ ජනාධිපතිවරයා ප‍්‍රාදේශීයව ජංගම සේවා යොදා ගනිමින් කිසිදු හිඟයකින් තොරව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ජනතාවට බෙදාහැරීමට ද අදාළ අංශවලට උපදෙස් දුන්නේය.

මෙරටට අනවසරයෙන් ගෙන්වා රාජසන්තක කර ඇති අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සතොසට ලබාදීමටත්, දිවයින පුරා ඇති සතොස ගබඩාවල සිදු කෙරෙන භාණ්ඩ මලු ඇසිරීමට රැකියා ලක්ෂය සඳහා බඳවාගත් පිරිස යොදා ගැනීමටත් උපදෙස් දෙනු ලැබිණ.

අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම සඳහා ප‍්‍රාදේශීය ලේකම්වරුන් මගින් අවශ්‍ය අවසරපත් නිකුත් කිරීමටත්, මාර්ග බාධක මෙහෙයුම් පහසු කිරීමට පොලිසිය සමග යුද හමුදාව යෙදවීමටත් තීරණය කළේය.

ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබෙන දිනට පෙර දින භාණ්ඩ ප‍්‍රවාහනය සඳහා අවසර දීම, කෘෂිකාර්මික කටයුතු, සියලු නගරවල කුණු කසළ ඉවත් කිරීම ඇතුළු දෛනික පවිත‍්‍රතා කටයුතු, මාර්ග සංවර්ධන සහ සෙසු ඉදිකිරීම් කරගෙන යෑමට මෙම සංචරණ සීමා බාධාවක් කර නොගත යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය. ආසාදිතයන්ට ප‍්‍රතිකාර කිරිමේ දී ආයුර්වේද රෝහල් පද්ධතියේ පහසුකම් ද යොදා ගැනීමට තීරණය කෙරිණි.

මැයි මස 25 සහ 28 දෙදින සංචරණ සීමා ඉවත් කෙරුණ ද ජනතාවට නිවසින් බැහැර යෑමට අවසර හිමි වන්නේ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිල දී ගැනීමට පමණි. විදේශයන් කිහිපයකින් ඇණවුම් කර ඇති එන්නත් වර්ග කිහිපයක් ඉදිරි දිනවල දී මෙරටට ලැබීමට නියමිතය. එන්නත්කරණ වැඩපිළිවෙළ වේගවත් කර පවතින තත්ත්වය කඩිනමින් පාලනය කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා විසින් අවධාරණය කරන ලදී. රජයේ නිලධාරීන් සහ වගකිව යුතු පිරිස් අනවශ්‍ය ලෙස මාධ්‍ය හමුවේ පමණක් පෙනී සිටිමින් ජනතාව බියට පත් කරනු වෙනුවට යම් කරුණක් වේ නම් ඒ පිළිබඳව සෘජුවම තමාට දැනුම් දීම වඩා වැදගත් බව ජනාධිපතිවරයා පැවසීය.

මෙතෙක් තීරණ ගනු ලැබුවේ ද, ඉදිරියට තීරණ ගනු ලබන්නේ ද අදාළ විශේෂඥ කණ්ඩායම්වල උපදෙස් අනුව බව පැවසූ ජනාධිපතිවරයා ජනතාව වෙනුවෙන් ඕනෑ ම නිවැරදි තීරණයක් ගැනීමට තමා පසුබට නොවන බව ද සඳහන් කළේය.

සංචරණ සීමා පවතින කාල සීමාවේ දී ජනතා අවශ්‍යතා සපුරාලීමට ගෙන ඇති පියවර පිළිබඳ ඇමැතිවරුන් විසින් ජනාධිපතිවරයා දැනුවත් කරන ලදී. වසංගතය පාලනය කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් නිසි පරිදි පිළිපැදීම ජනතාවගේ වගකීම සහ යුතුකම බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි, ගාමිණී ලොකුගේ, ජෝන්ස්ටන් ප‍්‍රනාන්දු, බන්දුල ගුණවර්ධන, ප‍්‍රසන්න රණතුංග, රමේෂ් පතිරණ, නාමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ, ශෂීන්ද්‍ර රාජපක්ෂ, චන්න ජයසුමන, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මධුර විතානගේ, ජනාධිපති ප‍්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, ත‍්‍රිවිධ හමුදාපතිවරු, සෞඛ්‍ය අංශ ප‍්‍රධානීහු සහ තවත් පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස