සිංහල බෞද්ධ උරුමය රැක ගන්න කැපවෙනවා…! – ජනපති…

January 22, 2022 at 1:37 pm | by emanisa.lk

අණ පනත්, කතිකා සම්මත කරගැනීමට මහා සංඝරත්නයේ මග පෙන්වීම අපේක්ෂා කරන බවත් විනාශයට යමින් තිබූ සිංහල බෞද්ධ උරුමය ‘කොවිඩ්’ බාධක හමුවේ වුව ද රැකගනිමින් ජනතාවගේ අපේක්ෂාව ඉටු කළාක් මෙන්ම එම ඓතිහාසික ස්ථාන සංවර්ධනයට ඉදිරියටත් කැපවන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

බෞද්ධ උපදේශක සභාව ජනාධිපති කාර්යාලයේදී ඊයේ (21) රැස්වූ අවස්ථාවේ ජනාධිපතිවරයා එසේ සඳහන් කළේය.

ඉවසීමෙන් හා සැලසුම් සහගතව ගත් තීරණයන්හි ප්‍රතිඵල වර්තමානයේ යථාර්ථයක් බවට පත් වෙමින් තිබෙන බවත් දූරදර්ශි සහ ප්‍රායෝගික දැක්මක් සහිත නායකයෙකු ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කෙරෙහි විශ්වාසය තබමින් ජනතා අපේක්ෂාවන් ජයග්‍රහණය කරවීමට එක්වීම සියලු පාර්ශ්ව සතු වගකීමක් බවත් බෞද්ධ උපදේශක සභාවේ මහා සංඝරත්නය එහිදී පැවසූහ.

කොවිඩ් වසංගතයෙන් ජනතාව බේරා ගැනීමටත් අභියෝග සහ ආර්ථික දුෂ්කරතා හමුවේ රට ගොඩනැගීමටත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කළ මෙහෙය අගය කරන බව කී මහා සංඝරත්නය ප්‍රපාතයට යමින් තිබූ රට, ජාතිය හා උරුමයන් බේරා ගැනීමට සිටි එකම නායකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ කෙරෙහි තැබූ විශ්වාසය කඩ වී නැති අතර කූරගල පුදබිම, මුහුදු මහා විහාරය ඇතුළු උතුරු නැගෙනහිර වෙහෙර විහාරස්ථාන රැකගනිමින් දැයට උරුම කරදීමට පසුගිය දෙවසර තුළ ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ ජනතාව දැනුම්වත් කළ යුතු බව ද සඳහන් කළහ.

රටේ ජනතාව මුහුණපාන ගැටලු පිළිබඳ සැබෑ තොරතුරු ඉදිරිපත් කර, විසඳුම් සෙවීමට ජනාධිපතිවරයාට සහාය වීම බෞද්ධ උපදේශක සභාවේ වගකීමක් විය යුතු බවත් මහා සංඝරත්නය වැඩිදුරටත් පැවසූහ.

බෞද්ධ උපදේශක සභාවේ සාමාජික මහා සංඝරත්නය, රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු හා රාජ්‍ය නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස