කිසිදු ඓතිහාසික උරුමයකට හානි කරන්න කිසිවෙකුට ඉඩ තබන්නේ නෑ! – ජනපති බෞද්ධ උපදේශක සභාව හමුවේ අවධාරණය කරයි…

July 25, 2020 at 9:02 am | by emanisa.lk

මෙරට පුරාවස්තු රැකගනිමින් ජාතික උරුමය තහවුරු කිරීමට පුරාවිද්‍යා ආඥාපනත සංශෝධනය කිරීම කෙරෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අවධානය යොමුව තිබේ.

ඒ, ඊයේ පස්වරුවේ පැවැති ජනාධිපති බෞද්ධ උපදේශක සභාවේ සිව්වන සභාවාරයේදීයි. ඒ අනුව එම පනත සංශෝධනය කළ යුත්තේ කෙසේදැයි අධ්‍යයනයට මහා සංඝරත්නය හා විෂය පිළිබඳ විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.

දිගු කලක් පුරා සිදුවෙමින් පවතින පුරාවස්තු විනාශය නතර කර, රටේ උරුමය අනාගත පරපුරට දායාද කිරීමත්, ප‍්‍රායෝගිකව මතුවන ගැටලු නිරාකරණයත් පුරාවිද්‍යා ආඥාපනත සංශෝධනය කිරීමෙන් අපේක්ෂා කරයි.

ඊයේ පස්වරුවේ පැවැති ජනාධිපති බෞද්ධ උපදේශක සභාවේ සිව්වන සභාවාරයේදී පුරාවස්තු සංරක්ෂණය සහ සංවර්ධනය පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්විය. කිසිදු පූජනීය ස්ථානයක ඓතිහාසික උරුමයට හෝ පුරාවිද්‍යාත්මක වටිනාකම්වලට හානිකිරීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කරයි. එසේම එවැනි සියලු ස්ථාන ජාතික උරුමයක් සේ සලකා ආරක්ෂා කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කරයි.

පුරාවස්තු සහ ඓතිහාසික ස්ථාන සම්බන්ධයෙන් මහා සංඝරත්නය ඉදිරිපත් කළ යෝජනා ජනාධිපති කාර්යය සාධක බලකායට ඉදිරිපත් කරන බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

ඊට අමතරව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වාර්ෂිකව වෙන් කෙරෙන මූල්‍ය ප‍්‍රතිපාදන වැඩි කිරීමටත්, සේවක හිගය පියවීමටත් පියවර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවසීය.

ඓතිහාසික ස්ථාන සහ පුරාවස්තු සුරැකීමේ වැඩපිළිවෙළට සිවිල් ආරක්ෂක බලකායේ සහය ලබාගැනීමට ඇති හැකියාව ද මෙහිදී සාකච්ඡාවට ලක්ව තබේ. උතුරු සහ නැගෙනහිර පළාත්වල පුරාවස්තු සහ ඓතිහාසික ස්ථාන සම්බන්ධයෙන් පවතින නඩු කොළඹ අධිකරණ වෙත මාරු කරන ලෙස ද මහා සංඝරත්නය මෙහිදී ඉල්ලීමක් කළ අතර ඊට ද ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය.

යටත් විජිත යුගයේදී සහ පසුකාලීනව මෙරටින් ගෙන ගිය පුරාවස්තු බ්‍රිතාන්‍යයේ සහ ඩෙන්මාර්කයේ කෝපන්හේගන් කෞතුකාගාරවල තැන්පත් කර ඇති බව ද මහා සංඝරත්නය මෙහිදී පෙන්වා දී තිබේ. යුනේස්කෝව සමග සාකච්ඡා කර ඒවා මෙරටට ගෙන්වා ගැනීමට ද මහා සංඝරත්නය මෙහිදී යෝජනා කළ බව ද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස