සහරාන්ගේ ත්‍රස්ත සංවිධානයේ න්‍යායාචාර්යවරයා නීතීඥ හිජාස් හිස්බුල්ලා!

June 25, 2020 at 11:39 am | by emanisa.lk

රටට මහත් ව්‍යසනයක් සිදුකළ එල්.ටී.ටී.ඊ සංවිධානයේ න්‍යායාචාර්යවරයකු හිටියාසේම සිය ගණනකගේ ජීවිත විනාශ කර තවත් විශාල පිරිසක් ඝාතනය කළ පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාර එල්ල කළ සහරාන් හෂීම් ප‍්‍රමුඛ මුස්ලිම් අන්තවාදී සංවිධානයේ න්‍යායාචාර්යවරයා ලෙස සැකකාර නීතිඥ හිජාස් හිස්බුල්ලා කටයුතු කර ඇතැයිද පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් ප්‍රකාශ කළේය.

රටේ භෞමික අඛණ්ඩතාව ආරක්‍ෂා කරමින් රටට අහිතකර කිසිදු පියවරක් නොගන්නා බවට හා ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව දිවිහිමියෙන් ආරක්‍ෂා කරන බවට දිවුරුම් ලබාදී ඇති නීතිඥවරයකු තම මව්බිමට එරෙහිව නැගීසිටීමට අන්තගාමීන් බිහිකිරීමේ වැඩපිළිවෙළකට නායකත්වය දීම ඉතාමත් කනගාටුදායක කරුණක් මෙන්ම ඉතා බරපතළ වරදක් බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි දිලීප පීරිස් ඊයේ (24) කොටුව මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවේ ප‍්‍රකාශ කළේය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් සිදුකළ විමර්ශන අනුව හෙළිවී ඇති සාක්‍ෂි හා තොරතුරු අනුව ඒ බව සනාථ වන්නේ යැයිද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.

එකී බෝම්බ ප‍්‍රහාරවලට සැකකාර නීතිඥවරයා සෘජුවම සම්බන්ධ වී නොමැති බවට විත්තිය නගන තර්කය සැබෑ විය හැකි නමුත් ළමා මනස විකෘති කර සමාජය කෙරෙහි වෛර සහගත හැඟීම් ඇති වන ආකාරයේ දේශන පවත්වා අන්තවාදීන් බිහිකිරීමට වෑයම් දැරීම පෙරකී ත‍්‍රස්තවාදී ක්‍රියාදාමයේ කොටසක් බව කිසිවකුට බැහැර කළ නොහැකි බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අවධාරණය කළේය.

පුත්තලම මද්‍රසා පාසලේදී එලෙස ශාරීරික හා මානසික පුහුණුවක් ලබාදුන් බාල වයස්කාර දරුවන් ඔවුන් ලැබූ අත්දැකීම් අනාවරණය කළ පසු ඔවුන් විමර්ශන නිලධාරීන්ට ලබාදුන් ප‍්‍රකාශ වෙනස් කිරීම සඳහා විවිධ බලපෑම් කොට ප‍්‍රකාශ ලබාගැනීමට එක්තරා අන්තවාදී කණ්ඩායමක් පියවරගෙන ඇතැයිද එහිදී කියා සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා සැකකාර නීතිඥවරයා ඉදිරිපත් කරන ලෙසට පැමිණිල්ල ඉල්ලා සිටියේ කිසිදු පාර්ශ්වයකට අගතියක් සිදුනොවන ආකාරයෙන් කටයුතු කිරීමේ පරමාර්ථය පෙරදැරිව බවද පැවැසීය.

නීතිපති දෙපාර්තමේන්තුව එලෙස අභූත චෝදනා නගනුයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා හා තමන් මෙන්ම නීතිඥ වෘත්තියේ යෙදෙන අයකුට වන බව සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ වසන්ත නවරත්න බණ්ඩාර එහිදී ප‍්‍රකාශ කළ අතර නීතිඥවරයකු වූ පමණින් ඔහුට විශේෂ මුක්තියක් ලබාදී නැතැයි දිලීප පීරිස් එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.

පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන් ලෙස කැඳවා තිබූ ළමුන් වෙනුවෙන් නීතිඥවරුන් පෙනී සිටීම අනුවම එක්තරා බලපෑමක් ඔවුනට එල්ල වී ඇති බව පෙනී යන්නේ යැයිද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස