ශාසනික ඉතිහාසය දෙස හැරී බැලීමේදී ඉතා වැදගත් සංසිද්ධි රාශියක්ම සිදු වූ වටිනා පොහොය දිනයක් ලෙස ඇසළ පොහොය වැදගත් වේ. ථෙරවාදී සම්ප්‍රදායේ භික්ෂූන් වහන්සේලාගේ පෙර වස් වසන පොහොය බැවින්, ලක් වැසි සැමට මේ පොහොය ඉතා වැදගත් වේ (එහෙත් මේ වසරේ අධික පොහොයක් යෙදී ඇති බැවින් වස් සමාදන් වන පොහොය වෙනස් වී ඇත).
වෙස්සන්තර ජාතකයෙන් පසු තුසිත දෙව්ලොව උපන් බෝසතුන් මහාමායා දේවී කුසේ පිළිසිඳ ගත්තේද මෙවැනි පොහොය දිනකදීය. එමෙන්ම සතර පෙරනිමිති දැක සසර අවබෝධ කරගත් බෝසතුන් මහාභිනිෂ්ක්‍රමණය කළේද මෙවැනි උතුම් පොහොය දිනකදීය. බෝසතුන් වහන්සේ පස්මහ බැලුම් බලා දඹදිව කපිලවස්තු පුරයේ සුදොවුන් රජුගේ අගමෙහෙසිය වූ මහාමායා දේවියගේ කුසේ පිළිසිඳ ගත්තේද මෙවැනි පොහොය දිනකදීය. රාහුල කුමාරෝත්පත්තියද මෙවැනි පොහොයක සිදු විය.
දෙවි මිනිස් සැම සුව පිණිස තථාගතයාණන් වහන්සේ අවබෝධ කරගත් උතුම් ශ්‍රී සද්ධර්මය පස්වග මහණුන් අරමුණු කරගෙන දේශනා කිරීමද මේ පොහොයේදී සිදුවිය. එම උතුම් මංගල ධර්මදේශනාව වූ දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව තුන් ලොවෙහිම මෝහන්ධකාරයේ තිමිර පට ඉරා සද්ධර්මයේ ආලෝකය පතුරවන්නට විය.
අන්‍ය තීර්ථකයන්ගේ පුහුමානය බිඳලනු වස් තථාගතයන් වහන්සේ ගන්ධමාන රුක්ඛමූලයේදී අහසට පැන නැගී යමාමහ පෙළහර පෑවේද, සත්වන වස් සමයේ තවුතිසා දෙව්ලොවට වැඩම කොට මාතෘදිව්‍ය රාජයා ප්‍රමුඛ දේව සමූහයන්ට අභිධර්මයෙන් ධර්ම දේශනා කළේද මෙවැනි පොහොය දිනකදීය.
බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසක් ගිය තැන මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් හා සිවුපිළිසිඹියාපත් මහරහතුන් පන්සියයකගේ සහභාගිත්වයෙන් මගධාධිපති අජාසත් මහරජුගේ පූර්ණ දායකත්වයෙන් ප්‍රථම ධර්ම සංගායනාවද සිදු වූයේ ඇසළ පුන් පොහොය දිනකදීය.
එමෙන්ම බුද්ධවර්ෂ 236 දී මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ සංඝරත්නය විසින් සම්මත කරන ලද සීමාවේ ප්‍රථම ඛණ්ඩ සීමාව පනවන ලද්දේද, ප්‍රථම බෞද්ධ භික්ෂුව ලෙස මහණව උපසම්පදාව ලැබූ අරිට්ඨ කුමරුන් ප්‍රධාන සිංහල කුමාරවරුන් 56 දෙනා පැවිදිව උපසම්පදා වූයේද ඇසළ පුන් පොහෝ දිනකදීය.
දෙවනපෑ තිස් රජු විසින් කණ්ඨක චෛත්‍ය වටා ඉදිකරන ලද අටසැට ලෙන් පුජාව සහ මහරහතන් වහන්සේ සැට දෙනමක් වහන්සේ ලක්දිව පළමුව වස් වැසීමද මේ පොහොයේ සිදුවූ වැදගත් සිදුවීමක් බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.
බුද්ධ වර්ෂ 382 දී දුටුගැමුණු මහරජ විසින් ස්වර්ණමාලී මහා ථූපය උදෙසා මුල්ගල තබන ලද්දේද බුද්ධ වර්ෂ 847 දී කිත්සිරිමෙවන් රජු දවස හේමමාලා කුමරිය හා දන්ත කුමරුන් විසින් වඩම්මන ලද දන්තධාතූන් වහන්සේ උදෙසා පෙරහර ආරම්භ කරන ලද්දේද මෙකී ඇසළ පුන් පොහොය දිනයේදීය.
මෙවැනි ශාසනික සන්සිද්ධි රාශියක් සිදු වූ ඇසළ පුන් පොහොය දිනයේ පින්වත් නුඹ දුර්ලභව ලැබූ මනුෂ්‍ය භාවයට අරුතක් එක් කිරීමට අදිටන් කර ගත යුතුයි. සසර ගිම් නිවාලනු වස් සිතින් ගතින් වදනින් නිති සංවරව සඟ මොක් මංපෙත් විවර කර ගැනීමට අදිටන් කර ගනිමු. තෙරුවන් සරණයි!
ශාස්ත්‍රවේදී රාජකීය පණ්ඩිත හාලිඇළ සාරද හිමි