උතුම් බුදු තෙමඟුල සැමරෙන පින්බර වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදයි!

May 7, 2020 at 10:00 am | by emanisa.lk

වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදට(07) යෙදී තිබේ. ලොව්තුරු අමාමෑණි බුදු පියාණන්වහන්සේගේ තෙමඟුල අද වැනි වෙසක් පොහොය දිනක සිදුවීම ලෝක වාසි බෞද්ධ ජනතාව සමරනු ලබති.

ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් ලෝකවාසි බෞද්ධ ජනතාව වෙසක් දිනය සමරන්නේ මහත් බැතියෙනි. සිද්ධර්ථ කුමරුගේ උපත, බෝධිසත්වයන් වහන්සේගේ බුදුවීම හා බුදුන් වහන්සේගේ පිරිනිවන් පෑම වෙසක් දින සිදු වූ සුවිශේෂී සිදුවීම්ය.

බුදු හිමියෝ බුද්ධත්වයෙන් අටවන වර්ෂයේ මණිඅක්ඛිත නා රජුගේ ආරාධනයෙන් කැලණියට වැඩම කරවන ලද්දේ වෙසක් ‍පොහෝ දිනකය. එම ගමනේදී සමනළ කඳු මුදුනට වැඩම කළ බුදු හිමියන් සිරිපා සටහන එහි තැබූ අතර එය සිහිපත් කරමින් කෙරෙන සිරිපා සමය නිමවන්නේද වෙසක් පුර පසළොස්වක ‍පොහෝ දිනක වීම විශේෂත්වයකි.

විජය කුමරුගේ පැමිණීම, දුටුගැමුණු රජු විසින් රුවන්වැලි සෑය ඉදිකිරීම ආරම්භ කිරීමද වෙසක් පුර පසළොස්වක ‍පෝ දිනක සිදුවූ බව කියැවෙයි. බුදු හිමියන්ගේ ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හිමියන් අපවත් වන්නේ ද වෙසක් ‍පෝ දිනකය.

දිවයිනේ සියලු විහාරස්ථානවල දී හා ඉන් පිටත දී ජනතාව එක්රැස් වන සේ දාන, ශීල, භාවනා වැඩසටහන් මෙන්ම වෙසක් තොරණ ආදී පුණ්‍යෝත්සව සංවිධානය නොකොට මෙවර නිවෙස් තුළ දීම ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ගෙන් පූජෝපහාර දක්වමින් අනන්ත වූ බුදු ගුණයන්ගෙන් ශෝභිත වූ තථාගතයන් වහන්සේගේ උතුම් තෙමඟුල සැමරීම වඩාත් යෝග්‍ය බව චතුර්නිකායික මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිති.

මල්වතු මහ විහාර පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල, අස්ගිරි මහ විහාර පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන, උඩරට අමරපුර මහ නිකායේ මහා නායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස, රාමඤ්ඤ මහ නිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ පෙමසිරි යන මහා නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ සිව්නම විසින් මෙම ඒකාබද්ධ වෙසක් දින පණිවිඩය නිකුත් කරනු ලැබ තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස