“වෙනස සැප ද?” කියලා ජනතාවට අපේ ආණ්ඩුවෙන් අහන්න ඉඩ තැබිය යුතු නෑ! – ගෙවිඳු

September 12, 2020 at 11:06 pm | by emanisa.lk

යුතුකම සංවිධානය ගොඩනැඟුවේ මේ රට එක්සේසත් කළ නායකයා විජාතික කුමන්ත්‍රණයකින් පරාජය කර මුළු රට ම විජාතික කුමන්ත්‍රණයක ගොදුරක් බවට පත් වූ මොහොතක යැයි යුතුකම සංවිධානයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග පවසයි.

ඊයේ (11) අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කොළඹ පදනම් ආයතනයේ පැවති යුතුකම සහෘදයින්ගේ සුහද හමුව අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

“ඒ වන විට අපේ සමාජය අපේ හර පද්ධතිය අපේ ආධ්‍යාත්මය අපේ හෘද සාක්ෂිය අමතක කර කුප්‍රකට ආප්ප කුමන්ත්‍රණය උත්කර්ෂයට නංවමින් සිටියා. අපි එදා ඒ සමාජයෙන් ප්‍රශ්න කළා තමන්ගේ පියා සමග මතවාදී ගැටළුවක් නිසා රජගෙයි අතහැර කොත්මලේට ගිහින් ගොවිතැන් කරමින් හරක් බලා ගනිමින් දුක් වින්ද ගැමුණු කුමාරයා අවුරුදු දෙදාහකට කලින් අපට දුන්නු ආදර්ශය ඒක ද කියලා.

රට පිළිබඳ මතවාදී ගැටුම් තියෙනවා නම් ඒවා ප්‍රකාශ කරලා ඒ නිසා ම දුකක් පිරිපතක් වළඳන්න වෙනවා නම් එය සතුටින් භාර ගැනීම නෙමේද අපේ අම්මලා ගැමුණු කුමාරයාගේ කතාව අපට කියලා දීමෙන් බලාපොරොත්තු වුණේ? අපේ 2500ක වසරක සභ්‍යත්වය ගැන ආඩම්බරෙන් කතා කරනවා නම් අපි ජීවත් වෙන්න ඕන ඒ පරමාදර්ශ මත නොවේද කියලා එදා අපි ජාතියෙන් ප්‍රශ්න කළා.

එදා අපේ පළවෙනි සම්මන්ත්‍රණය පැවැත් වුණේ ‘වෙනස සැපද?’ කියන මාතෘකාව යටතේ. එදා අපි අතර දීර්ඝ සංවාදයක් ඇති වුණා අපේ දේශකයන් ගැන. එහි දී ජනතා ආකර්ශනය දිනාගත් ප්‍රසිද්ධ චරිත ගණනාවක් යෝජනා වුණා. නමුත් පරමාර්ථ වෙනුවෙන් කැප නොවන අවංකභාවය පිළිබඳ ගැටළු තියෙන අයට කෙතරම් ආකර්ශනීය වුණත් යුතුකම වේදිකාවක් නොවන්න අපි තීරණය කළා.

අපි අවසානයේ තෝරා ගත් එක සුවිශේෂ චරිතයක් තමයි එදා එතරම් ප්‍රසිද්ධියක් නොතිබුණු ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහත්තයා. ඒ නිසා ම අපට අර විජාතික කුමන්ත්‍රණය පරාජය කරලා නැවත මහින්ද මහත්තයා නායකත්වය කරා ගෙන එන්න වගේ ම රටට මග කියන්න පුළුවන් සබුද්ධිකයින් පිරිසක් රටට දායාද කරන්නත් පුළුවන්කම ලැබුණා.

අද තියෙන්නේ අලුත් යුගයක්. යුතුකමට තියෙන්නේ අලුත් අභියෝග. ඒ අතරින් මූලික අභියෝගය තමයි එදා යහපාලන ආණ්ඩුවෙන් අපි ඇසූ ‘වෙනස සැප ද?’ කියන ප්‍රශ්නය මේ රටේ ජනතාව අපි අමාරුවෙන් දිනාගත් මේ ආණ්ඩුවෙන් අහන්නේ නැති තැනට කටයුතු කිරීම. 2020 අපි කළ වෙනස, සැපද කියලා අපේ රටේ ජනතාවට අහන්න අවස්ථාවක් නොතැබියය යුතුයි.

එදා කුමන්ත්‍රණකාරයින් ඉදිරියේ සත්‍යවාදී වීමේ අවංක වීමේ මව්බිම වෙනුවෙන් කැපවීමේ දී අපි ලබා දුන් ආදර්ශය අද අපේ ම ආණ්ඩුව සමගත් එලෙස ම පවත්වා ගෙන යාම තමයි යුතුකමේ යුතුකම. අවංක සත්‍යවාදී මව්බිම වෙනුවෙන් කැපවෙන චරිත යුතුකම ඔස්සේ රටට දායාද කිරීම තමයි අපේ අභිප්‍රාය. අපි හිතනවා ඒ ගමනට ඔබ සියලු දෙනා ම දායක වෙයි කියලා.”

මෙම අවස්ථාවට අගමැති මහින්ද රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය චරිත හේරත්, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, ආචාර්ය ගුණදාස අමරසේකර, ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා, ජනාධිපති නීතිඥ සමන්ත රත්වත්තේ, මහාචාර්ය වසන්ත දේවසිරි, විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර, සුජාතා අත්තනායක, දිලිත් ජයවීර, සුදත් රෝහණ, පාලිත සිල්වා, යුතුකම ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුප පස්කුවල්, යුතුකම ලේකම් මිල්කෝ ආයතනයේ සභාපති ලසන්ත වික්‍රමසිංහ යන මහත්වරු ඇතුළු යුතුකම ජාතික සංවිධානයේ සාමාජික පිරිසක් එක්ව සිටියහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස