අද (15) සිට 66%කින් විදුලි ගාස්තු ඉහළ නැංවීමට මහජන උපයෝගීතා කොමිසමේ බහුතරයේ අනුමැතිය හිමි වී තිබේ.
එහි දී එම යෝජනාවට සභාපති ජනක රත්නායක විරෝධය පළ කළ ද, සෙසු සාමාජිකයින් තිදෙනා ඊට එකඟත්වය පළකිරීම හේතුවෙන් එම යෝජනාව සම්මත විය.
ලංකා විදුලිබල මණ්ඩලයට අමතර රුපියල් බිලියන 287ක ආදායමක් උපයා ගැනීම සඳහා කැබිනට් මණ්ඩලය අනුමත කළ 66%කින් විදුලි ගාස්තු ඉහළ නැංවීමේ යෝජනාව ජනවාරි 02 වනදා මහජන උපයෝගීතා කොමිසමට යොමු කෙරුණි.
කෙසේ වෙතත් ඒ සඳහා මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය දිගින් දිගට ම හිමි නොවු අතර, එහි සාමාජිකයින් කිහිප දෙනෙකුම මතගැටුම් මැද ඉල්ලා අස් විය.
පුරප්පාඩු වු තනතුරු සඳහා පත්වූ සාමාජිකයින් තිදෙනෙකු අවස්ථා දෙකකදී පත් කෙරුණු අතර ඔවුන් තිදෙනා සමග මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඊයේ විදුලි ගාස්තු ඉහළ නැංවීමේ යෝජනාව සාකච්ඡාවට ගෙන තිබුණි.
මහජන උපදේශන අනුව සියලු පාර්ශ්වයන්ගේ යෝජනා අනුව රුපියල් බිලියන 142ක ආදායමක් ලැබෙන පරිදි 36%ක අඩු විදුලි ගාස්තු වැඩිවීමක් මහජන උපයෝගිතා කොමිසම සකස් කළ අතර, එය සභාපතිවරයා විසින් ඊයේ කොමිසමේ අනුමැතිය සඳහා ඉදිරිපත් කළේය.
සභාපතිවරයා පමණක් ඊට අනුමැතිය ලබා දුන්න ද සෙසු සාමාජිකයින් තිදෙනා වන නීතිඥ චතුරිකා විජේසිංහ, ඩග්ලස් නානායක්කාර සහ එස්. ජී. සේනාරත්න විරෝධය පළ කිරීම නිසා එය ප්රතික්ෂේප වුණි.
අනතුරුව කැබිනට් අනුමැතිය ලද ලංකා විදුලිබල මණ්ඩලය සකස් කළ 66%කින් විදුලි ගාස්තු ඉහළ නැංවීමට අදාළ යෝජනාව සෙසු සාමාජිකයින් තිදෙනා විසින් ඉදිරිපත් කළ අතර ඔවුන් එය අනුමත කර තිබුණි.
සභාපතිවරයා පමණක් ඊට විරුද්ධ වුවද කොමිසමේ බහුතර සාමාජිකයින්ගේ කැමැත්ත මත විදුලි ගාස්තු ඉහළ නැංවීමේ යෝජනාව සම්මත විය.
කෙසේ වෙතත් මෙම නව විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති සන්ධානය ඇතුළු පාර්ශ්ව කිහිපයක් සිය විරෝධය පළ කර තිබේ.