ආගමික ස්ථානවල විදුලි බිල් විතරක් හතර ගුණයකින් ඉහළ දමන්නේ ඇයි…? – සාධාරණ කරූ….

September 22, 2022 at 3:06 pm | by emanisa.lk

ආගමික සිද්ධස්ථානයන් සඳහා පනවා ඇති අධික විදුලි ගාස්තු පිළිබදව ආගමික නායකයන් ඇතුළු සිවිල් සමාජය තුළින් මතුව ඇති දැඩි විරෝධය පිළිබදව රජයේ අවධානය නොපමාවම යොමුකරවිය යුතුව ඇතැයි සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය පවසයි.

විදුලි ගාස්තු හතර ගුණයකින් වැඩි කිරීම නිසා බොහෝ ආගමික මධ්‍යස්ථාන විශාල අපහසුතාවකට පත්ව ඇති බවත් නිවේදනයක් නිකුත් කරමින් ජයසූරිය සඳහන් කරයි. එහි තවදුරටත් මෙසේද සඳහන් වේ.

“අනෙකුත් පාරිභෝගික බිල්පත් සඳහා හතර ගුණයක් වැනි අසාමාන්‍ය වැඩි වීම්වලට යටත් නොවන විට ආගමික ස්ථානවලට පමණක් මෙසේ ගාස්තු වැඩි වන්නේ මන්ද යන්න ගැන ද බලධාරීන් විසින් සොයා බැලිය යුතුව ඇත.

ජනසමාජය ආධ්‍යාත්මික වශයෙන් පෝෂණය කරන හා සමාජීය වශයෙන් විශාල සේවාවන් ඉටුකරන ආගමික මධ්‍යස්ථානවලට සහනයක් සැලසෙන පරිදි විකල්ප ක්‍රියාමාර්ගයන් හඳුන්වාදෙමින් අවශ්‍ය මගපෙන්වීම් හා ක්‍රියාමාර්ග ගැනීම රජයේ වගකීමකි. එහිදී රජයටත් ජනතාවටත් බරක් නොවන අන්දමට සෑම ආගමික මධ්‍යස්ථානයකම සූර්ය පැනල මඟින් (සෝලා) විදුලිය ලබාදීමට හැකි බව එම ක්ෂේත්‍රයේ වියතුන් විසින් දැනටමත් පෙන්වාදී තිබේ.

මෙම යෝජනාව අප විසින් දීර්ඝ ලෙස අධ්‍යයනය කළ අතර විදුලි ඉංජිනේරු මතය වූයේ ද මෙරට පිහිටි බොහෝ පන්සල් කෝවිල් පල්ලි ආදී ස්ථානවලට සූර්යය පැනල මඟින් විදුලිය ලබා දිය හැකි බවයි. එහිදී අප තව දුරටත් රජයට යෝජනා කළේ මහජන මුදල් භාවිත කරනවා වෙනුවට මේ සඳහා අන්තර්ජාතික ප්‍රදාන හා දැනට ක්‍රියාත්මක අනෙකුත් පරිසර ආධාර ක්‍රම යටතේ මෙම යෝජනා ක්‍රමය දියත් කළ හැකි බවයි.

අප විසින් ඒ පිළිබදව මේ වන විටත් ජනාධිපතිතුමා, බුද්ධශාසන හා ආගමික කටයුතු ඇමැතිතුමා හා විදුලිබල මණ්ඩලය වෙත කරුණු ඉදිරිපත් කර ඇත. බුද්ධ ශාසන අමාත්‍යතුමන් මෙහිදී වැදගත් පියවර කිහිපයක් ගෙන ඇති බවත්, ජනාධිපතිතුමන් විසින් මෙහි අවශ්‍යතාව වටහාගෙන ඇති බවටත් එහිදී අපව දැණුම්වත් කර තිබේ. ඒ අනුව එකී අවධානය නොපමාවම ප්‍රායෝගිකව ක්‍රියාවට නගනු ඇතයි අප තරයේම අපේක්ෂා කරන්නෙමු.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස