විග්නේශ්වරන් නැවතත් උතුරු ගිනි තියයි! දෙමළ ජනතාව නැවතත් අරගල කළ යුතු බව කියයි! කුඩා ළමුන් මොළ හෝදන පෙළපාලියේ!

September 17, 2019 at 8:26 am | by emanisa.lk

යාපනයේ වයස අවුරුදු දාහතරටත් වඩා අඩු කුඩා ළමුන්ද සහභාගී කරගෙන හිටපු මහ ඇමති විග්නේස්වරන් 16දා යාපනය නගරයේදී එළුඟු තමිල් උළෙලක් ආරම්භ කළේය.

පෙරවරු 10.20 ට තිබූ නැකතකට අනුව විග්නේස්වරන් මහතා පෙරමුණට පැමිණ එළුඟු තමිල් බැනරයට අත තබා පෙළපාලිය ආරම්භ කළේය.

දෙමළ ජනතාවගේ පිබිදීම සඳහා ආරම්භ කොට ඇති මෙම උළෙලෙදී සටන් පාඨ කියමින් දෙමළ ජනතාව ගමන් කළේ ඔවුන්ට අදාළ ප‍්‍රධාන ප‍්‍රශ්න හතකට තවමත් කිසිම රජයකින් සහනයක් ලැබී නොමැති බව කියමිනි.

යුද අපරාධවලට විසඳුමක් නොලැබීම, දෙමළ දේශපාලන සිරකරුවන්ගේ ප‍්‍රශ්නය, අතුරුදහන් වූවන්ගේ ප‍්‍රශ්නය, උතුරේ ඉඩම් ප‍්‍රශ්නය ආදී වශයෙන් වූ දෙමළ ජනතාවගේ ප‍්‍රධාන ප‍්‍රශ්න හතට විසඳුම් ලැබෙන තුරු මේ රටේ දෙමළ ජනතාවට නිදහසක් නොමැති බව මේ උළෙල ආරම්භ කරමින් විග්නේස්වරන් මහතා පැවසීය.

දෙමළ ජනතාවගේ ප‍්‍රශ්නවලට කිසිම රජයකින් විසඳුම් ලබා නොදෙන්නේ නම් අරගලයන් තුළින් හෝ ඒ ප‍්‍රශ්නවලට විසඳුම් ලබාගත යුතුව ඇති බව පැවසූ ඔහු මේ සඳහා සියලු දෙමළ ජනතාව පමණක් නොව බෙදී වෙන් වී සිටින දෙමළ දේශපාලන පක්ෂද එකතුවිය යුතු බවද කියා සිටියේය.

මේ උළෙලට සහභාගී වීම සඳහා විශාල පිරිසක් යාපනය නගරයට පැමිණ සිටි අතර ඔවුන් කෑ කෝ ගසමින් පෙළපාලිවල ගමන් කළහ.පෙළපාලිවලින් අනතුරුව යාපනයේදී ජන හමුවක් පැවැත්වූ අතර එය අමතා දෙමළ දේශපාලනඥයින් කීප දෙනෙකු මෙන්ම ස්වේච්ඡුා සංවිධාන නියෝජිතයින් කීපදෙනකුද කතා කරනු ලැබූහ.

එළුඟු තමිල් උළෙල වෙනුවෙන් උතුරේ සෑම නගරයකම පාහේ වෙළඳ සැල් වසාදමා තිබූ අතර ගමනාගමන කටයුතදු අඩපණ වී තිබිණි.

දිනසේන රතුගමගේ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස