වැලිකඩ සිද්ධියට ගෝඨා අණ දුන්නේ යැයි පාපෝච්චාරණය කරන්නැයි පූජිත් කීවා! – නියෝමාල් රංගජීව ජනපති කොමිසමට කියයි…

June 9, 2020 at 10:35 pm | by emanisa.lk

2012 වසරේ ඇති වූ වැලිකඩ බන්ධනාගාර සිද්ධියට එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධ යැයි පවසන ලෙස හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර තමන්ගෙන් ඉල්ලා සිටි බව පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව “යහපාලන ආණ්ඩු සමයේ දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයාබලන ජනාධිපති කොමිසම” හමුවේ අද (09) අනාවරණය කළේය.

ඔහු වැඩිදුරටත් සදහන් කළේ, පොලිස්පතිවරයා කළ එම ඉල්ලීමට තමන් එකඟ නොවු බැවින් තමන්ව වැලිකඩ බන්ධනාගාර කැරැල්ලට සම්බන්ධ කිරීමට ඉකුත් ආණ්ඩුව ක්‍රියා කළ බවයි.

2012 වසරේ නොවැම්බර් මස 09 වන දින වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ කලහකාරි වතාවරණය අතරතුර රැඳවියන් 27 දෙනෙකු මියයාමේ සිද්ධියට අදාළව තමන්ගෙන් දේශපාලනිකව පලිගැනීමට ඉකුත් යහපාලන ආණ්ඩුව කටයුතු කළ බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරික්ෂක නියෝමාල් රංගජීව කර තිබූ පැමිණිල්ලේ සාක්ෂි විමසීම අද සිදුකෙරුණි.

අදාළ සිදුවීම වූ දිනට දින 20 කට පමණ පෙර සිට තමන් මෙරට ප්‍රමුඛ පෙලේ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවෙකු ලෙස කුප්‍රකටව සිටි සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයක් වැටලීමට සැලසුම් සකස් කරමින් සිටි බව පොලිස් පරික්ෂකවරයා කියා සිටියේය.

මෙම කලහාකාරි වතාවරණය ඇතිවු අවස්ථාව වන විට තමන් ජම්බුගස්මුල්ල ප්‍රදේශයේ නිවසක රැදීසිටිමින් වෙලේ සුදාගේ මත්ද්‍රව්‍ය ජාවාරම කොටු කර ගැනීමේ මෙහෙයුමක නිරත වී සිටි බව ඔහු සඳහන් කළේය.

එදින වෙලේ සුදාගේ මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ඒමට ආසන්නව පැවති බැවින් මෙහෙයුම් කටයුත්තක් සදහා පුංචි බොරැල්ල ආසන්න ප්‍රදේශයට ගියද, තමන් කිසිදු අවස්ථාවක වැලිකඩ බන්ධනාගාරය තුළට නොගිය බවද රංගජීව ජනාධිපති කොමිසම හමුවේ අවධාරණය කළේය.

මෙවැනි වතාවරණයක් තුළ මෙම සිදුවීමෙන් වසර 4 ක් පමණ ගතවීමෙන් පසු බලයට පත් වූ යහපාලන ආණ්ඩුව තමන්ගෙන් දේශපාලනිකව පලිගැනීමට උත්සහ කළ බව ඒ මහතා පෙන්වා දුන්නේය.

එම පලිගැනීම් සදහා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවකට අධ්‍යක්ෂ ශානි අබේසේකර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න යන මහත්වරුන් මුල් වූ බව නියෝමාල් රංගජීව වැඩිදුරටත් කියා සිටියේය.

එමෙන්ම ඔහු කොමිසම හමුවේ ප්‍රකාශ කළේ, යහපාලන ආණ්ඩුව බලයට පත්වීමත් සමග එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාව සිටි පුජිත් ජයසුන්දර තමන් අමතා  “ගෝඨාභයනේ ඔයාව ඇරියේ. ඔයා ඒක කියන්න. මම උඩට කියලා ශේප් කරන්නම්” යනුවෙන් පැවසු බවයි.

ඒ වන විට පොලිස්පති තනතුර ලබාගැනීම සදහා තියුණු තරගයක් පැවති බැවින් පුජිත් ජයසුන්දර ඉහළින් ප්‍රසාදය දිනාගැනීමේ අරමුණ ඇතිව එලෙස ක්‍රියාකරන්නට ඇතැයිද හෙතෙම ප්‍රකාශ කළේය.

වැලිකඩ බන්ධනාගාරය තුළ අදාළ සිදුවීම වු දිනට ආසන්න දිනයකදි එවකට ආරක්ෂක ලේකම්ව සිටි වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් දුරකතන ඇමතුමක් ලැබුණේ දැයි ජනාධිපති කොමිසම මෙහිදි සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කළේය.

එයට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සදහන් කළේ පොලිස් පරීක්ෂක වැනි පහළ නිලයක සිටි තමන්ට එවැනි දුරකතන ඇමතුමක් නොලැබුණු අතර, තමන් ගෝඨාභය රාජපක්ෂ සජීවිව දැක ඇත්තේද මහමග මෝටර් රථයකින් ගමන් කරන අවස්ථාව දෙකකදි පමණක් බවයි.

මාකඳුරේ මදූෂ් වැනි අපරාධකරුවන්ගේ ප්‍රහාරයකට පවා ලක් වූ තමන්ට ඉහළ නිලධාරින් නිර්දේශ කර තිබූ නියමිත උසස්වීම් නොලැබී ගියේද පොලිස්පති පූජිත ජයසුන්දරට වුවමනා පරිදි තමා සාක්ෂි නොදීම නිසා බවත් නියෝමාල් රංගජීව පැවසීය.

adaderana

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස