ලංවීම පාඩුයි කීම විශාල බොරුවක්…! රු. 29ට විකුණන විදුලි ඒකකයක පිරිවැය රු.2යි..! ඔක්තෝබර් විතරක් කෝටි 28ක් ලාභයි…!

December 7, 2022 at 6:44 pm | by emanisa.lk

මේ වන විට විදුලිබල මණ්ඩලය ලාභ ලබමින් පවතින බවත්, විදුලිබිල යළි වැඩිකිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත්, හිටපු විදුලිබල ඇමැති, 43 වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

විදුලි බිල වැඩි කිරීමෙන් පසු ඉකුත් ඔක්තෝබර් මස ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් කෝටි 28කට අධික ලාභයක් ලබා ඇතැයි කී මන්ත්‍රීරයා, ක්‍රමයෙන් එයට මුදල් ගලාගෙන එන නිසා පාඩුයි කීමට නොහැකි බව ද සඳහන් කළේය.

එමෙන්ම ලංකා විදුලි බල මණ්ඩලය සමාගම් 18කට හා වෙනත් ආයතන 4ක් ලෙස ලංකා විදුලිබල මණ්ඩලය හා අනුබද්ධ ආයතන 22 ක් ලෙස පවත්වාගෙන යාමට කැබිනට් මණ්ඩලය තීරණයක් ගෙන ඇතැයි කී හිටපු අමාත්‍ය රණවක, විදුලිය නිපදවන ජලාශ සමාගම්කරණය කළහොත් ජනතාවගේ පානීය හා ගොවිතැනට අවශ්‍ය ජලය අහිමිවිය හැකි බවට ද අනතුරු ඇඟවූයේය.

රුපියල් 56ක් වන විදුලි ඒකකය රුපියල් 29 ට විකුණන බවට විදුලිබල මණ්ඩල ප්‍රධානීන් හා ඇමතිවරයා කරන ප්‍රකාශ පට්ටපල් බොරු බව කී මන්ත්‍රීවරයා විදුලිබල මණ්ඩලය විදුලිය ලබාගන්නේ ලක්ෂපාන බලාගාරයෙන් ඒකකයක් රුපියල් 2.41 බැගින්, මහවැලි විදුලිය ඒකකය රුපියල් 2.70, සමනල විදුලිය ඒකකයක් රුපියල් 3.68 වැනි මිල ගණන් යටතේ බවත්, මෙරට අඩු ප්‍රමාණයෙන් විදුලිය පරිභෝජනය කරන දුගී ජනතාවට එම විදුලිය ප්‍රමාණවත් බව ද කීවේය. ජල විදුලි බලාගාරවල ණය ගෙවීමට රටකජු විකුණන හා හිඟමන් යන, යාචකයාගේ සිට සියලුදෙනා බදු ගෙවා ඇති බැවින් ඔවුන්ට එම විදුලිය ලැබිය යුතු බව ද ඔහු පැවසීය.

ඩීසල් බලාගාර ක්‍රියාත්මක කර ඇත්තේ අධික විදුලියක් භාවිත කරන ගෘහස්ථ, වාණිජ, කර්මාන්ත පාරිභෝගිකයින් සඳහා බැවින් ඔවුන් එය ගෙවිය යුතු බව ද හිටපු ඇමැති රණවක ප්‍රකාශ කළේය. පාඨලී චම්පික මේ බව පැවසුවේ 43 වන සේනාංක කාර්යාලයේ දී අද (7) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *