ශ්‍රී ලංකාව කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා දියත් කර ඇති වැඩපිළිවෙළ ලෝක බැංකුවේ විශේෂ ඇගයීමට පාත්‍ර වී තිබේ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාවේ ලෝක බැංකු අධ්යක්ෂ ෆාරිස් හදද්-සර්වෝස් අතර හමුවක් ඊයේ (03) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
ශ්‍රී ලංකාව සහ ලෝක බැංකුව අතර ඇති “සම්බන්ධතාවට කෘතඥතාව” පළ කරමින් හදද්-සර්වෝස් මහතා මා වෙත පසුගිය මැතිවරණ ජයග්‍රහණයට පමණක් නොව මෙ රට කොවිඩ්-19 වසංගතය පාලනය කරන ආකාරය ගැන ද සුබ පැතුම් එක් කර තිබේ.
කොවිඩ්-19 වසංගත තත්වයෙන් ඉක්මණින් ශ්‍රී ලංකාවෙන් පහව යාමට ප්‍රාර්ථනා කරන බව ෆාරිස් හදද්-සර්වෝස් මහතා එහි දී පැවසී ය.
කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ ලෝක බැංකුව ශ්‍රී ලංකාවට විවිධ ආධාර වැඩසටහන් ඔස්සේ ලබාදුන් දායකත්වය අගය කිරීම ද එහිදී සිදු විය. මෙම වසර මුල දී ලංකාවේ වසංගතය ප්‍රථම වරට ව්‍යාප්ත වූ අවස්ථාවේ ආධාර ලබා දීමට ඉදිරිපත් වූ පළමු ආධාර දෙන ආයතනය ලෝක බැංකුවයි.
ශ්‍රී ලංකාවට සහයෝගය දැක්විය හැකි හොඳම ආකාරයට සහය පළ කරමින් “මෙම අර්බුදය යහපත වෙනුවෙන් පරිවර්තනය කරගන්නේ කෙසේදැයි අපි බලමු!” යැයි ලෝක බැංකු අධ්යක්ෂ ෆාරිස් හදද්-සර්වෝස් මහතා සඳහන් කළේ ය.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතා පිළිබඳව එහි දී ෆාරිස් හදද්-සර්වෝස් මහතා විමසා ඇති අතර කොවිඩ්-19 වසංගත තත්ත්වය පාලනය කර ගැනීමට සහ ඉන් පසුව ආර්ථික සංවර්ධනයට මං මාවත්, පානීය ජලය, සනීපාරක්ෂාව මෙන් ම කෘෂිකර්මාන්ත ක්ෂේත්රය නංවාලීමට ප්‍රමුඛතා ලබා දෙන බව අගමැතිවරයා ප්‍රකාශ කර තිබේ.