රුපියල කඩා වැටෙන තුරු අපනයනකරුවෝ ඩොලර් හංගති..! මසකට ඩොලර් මිලියන 345ක් සඟවන බව මහ බැංකු වාර්තා හෙළි කරයි..!

September 28, 2021 at 12:12 pm | by emanisa.lk

අපනයනකරුවන් පසුගිය වකවානුවේ මාසිකව ඇමරිකානු ඩොලර් මිලියන තුන්සිය හතළිස් පහක් පමණ (රුපියල් කෝටි හත්දහස් තුනක පමණ මුදලක් ) රුපියල් බවට පරිවර්තනය නොකර සඟවා ගෙන ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු නිල වාර්තා අනාවරණය කරයි.

මහ බැංකුව ප්‍රකාශ කරන්නේ රේගු වාර්තාවලට අනුව 2021 වසරේ පළමු මාස අට ඇතුළත මෙරටින් සිදුකර ඇති සමස්ත භාණ්ඩ අපනයනයේ වටිනාකම ඩොලර් මිලියන හත්දහස් අටසිය අසූවක් පමණ වන බවය. ඒ අනුව මාසික අපනයන වටිනාකමේ සාමාන්‍යය ඩොලර් මිලියන නවසිය අසූ පහකි.

එහෙත් එම මුදලින් රටට පැමිණ රුපියල් බවට පරිවර්තනය කර ඇත්තේ මාසිකව ඩොලර් මිලියන හයසිය හතළිහක් පමණක් බව මහ බැංකුව අනාවරණය කරයි. ඒ අනුව අපනයනකරුවන් රුපියල් බවට පරිවර්තනය නොකර තමන් සන්තකයේ තබාගෙන ඇති මුදල මාසිකව ඩොලර් මිලියන තුන්සිය හතළිස් පහක්වේ. මෙය අපනයනකරුවන් සිය අපනයන ඉපැයීම් සියයට සියයක් රට වෙත රැගෙන ආයුතු බවට වන නියාමනයට අනුකූල වන්නේ ද යන්න බරපතළ ප්‍රශ්නය මතු කරන බව මහ බැංකුව ප්‍රශ්න කරයි.

මෙම පසුබිම මත විශේෂයෙන් වසංගතය ආශ්‍රිත පීඩන හේතුවෙන් විදේශ විනිමය ලැබීමේ අනෙකුත් ප්‍රධාන මාර්ග මත අයහපත් බලපෑම් ඇතිවීමත් සමග ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇතැයි මහ බැංකුව සඳහන් කරයි. විදේශීය අංශයේ ස්ථායීතාව සහ සමස්ත මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව සඳහා අපනයන ඉපැයීම් රට වෙත ගෙන්වා ගැනීමේ හා එම මුදල් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීමේ වැදගත්කම පිළිබඳව නිවේදනය කරමින් මහ බැංකුව මේ බව පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *