රාජ්‍ය ආදාමින් රාජ්‍ය සේවක වැටුප් 72%… සමෘද්ධියට 28%…! භාණ්ඩාගාරේ සතයක් නෑ..! – බන්දුල…

September 30, 2023 at 9:29 am | by emanisa.lk

‘රාජ්‍ය සේවකයින්ට වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීමට බිලියන 1265 ක් වැයවෙලා .එය මුළු බදු ආදායමෙන් 72%ක්. සමෘද්ධිය ඇතුළු අනෙකුත් සහනාධාර ලබාදීමට බිලියන 506 වැයවෙලා එය බදු ආදායමෙන් 28%ක්. එතකොට භාණ්ඩාගාරයේ සතයක්වත් ඉතිරි වන්නේ නැහැ’

ජනමාධ්‍ය ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මේ බව ප්‍රකාශ කළේ කැලණිවැලි දුම්රිය මාර්ගය සංවර්ධනය කිරීම සඳහා ඉඩකඩ ලබා ගැනීමේදී දුම්රිය රක්ෂිතය තුළ පදිංචි අනවසර පදිංචිකරුවන්ගේ ආරක්ෂාව සඳහා එම ජනතාව ස්ථිර හිමිකම් සහිත මහල් නිවාසයක පදිංචිකිරීම යටතේ පසුගියදා ‍ප්‍රවාහන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති නිවාස හිමිකම්පත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට ප්‍රධාන අමුත්තා වශයෙන් එක්වෙමිනි.

ශ්‍රී ලංකා දුම්රිය සේවයෙන් ජාතික ප්‍රවාහන පද්ධතියට අපේක්ෂිත දායකත්වය හඳුනාගනිමින් කොළඹ තදාසන්න ප්‍රදේශයේ දුම්රිය සේවය සංවර්ධනය කිරීමට ඉඩකඩ ලබා ගැනීම සඳහා කැලණිවැලි දුම්රිය මාර්ග රක්ෂිත තුල සීවලී පුර සිට කිරුළපන දක්වා කොටසේ පදිංචි අනවසර පදිංචිකරුවන් 100 දෙනෙකු සඳහා මෙහිදී නිවාස හිමිකම් පත් ලබා දෙන ලදී. නාගරික සංවර්ධන අධිකාරිය ඉදිකරන ලද මාලිගාවත්ත ලක් හිරු සෙවන හා කාලිංග මාවතේ කොළොංතොට සරසවි උයන මහල් නිවාස සංකීර්ණ වලින් මෙම නිවාස ලබා දෙන ලදී.

ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර යටතේ කොළඹ තදාසන්න දුම්රිය සංර්ධන ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා,

කැළණි මිටියාවතේ දුම්රිය මාර්ගයේ ජීවත්වීම සඳහා ජීවිත සටනක යෙදුනු තමුන්නාන්සේලා බොහෝ කලක් අනවසර පදිංචිකරුවන් යන ලේබලය යටතේ තමයි ජීවත් වෙලා තියෙන්නෙ. කාලය අවුරුදු විස්සක් තිහක් වෙන්න පුළුවන්. බ්‍රිතාන්‍යයේ සුද්දන් විසින් හදපු දුම්රිය ආඥාපනතට අනුව තමුන්නාන්සේලා ඔක්කොමලා බරපතළ වරදක වැරදිකරුවන්. දුම්රිය රක්ෂිතය මොනම හේතුවක් නිසාවත් ඉදිකිරීම් සඳහා යොදාගන්න බැහැ. නීතිය තමයි, දුම්රිය මාර්ගයේ ගමන් කරන්නන් වැරදිකරුවන් කර දඩයකට නියම කිරීම. දුම්රියේ ගැටී මිය යන අය සඳහා සතයක්වත් වන්දි ගෙවීමට දුම්රිය දෙපාර්තමේන්තුව බැඳී නැහැ, මොකද දුම්රිය මාර්ග රක්ෂිතය කාටවත් අයිති එකක් නොවෙයි, දුම්රිය සේවාවටයි අයිති. ඕනෑම වේලාවක අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවට නීතියෙන් අවසරය, බලය තියෙනවා. ඒ නිසා තමුන්නාන්සේලා කිසිවෙකුටත් කිසිම හිමිකමක් නැති කිසිම වන්දියක් නැතිව එළියට දමන්න අයිතිය තියෙද්දිත් කැලණි මිටියාවතේ දුම්රිය මාර්ගය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට ණය ආධාර සපයන ආසියානු සංවර්ධන බැංකුවට රජය විසින් යෝජනා කරලා තියෙනවා අපේ රටේ ජනතාවගෙන් පීඩනයට පත්වෙච්ච කොටසක් දීර්ග කාලයක් මේ තුළ ඉඳලා තියෙන නිසා ව්‍යාපෘතියේ මුදල්වලින් ඔවුන්ට ස්ථිර නිවාස ටිකක් නාගරික සංවර්ධන අධිකාරිය සමඟ එකතුවී සාදා දෙන ලෙස. ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබාගත් ණය මුදල් වලින් තමයි මෙම නිවාස සාදා තියෙන්නෙ. මෙම එක නිවසක වටිනාකම ලක්ෂ එකසිය විස්සක් පමණ වනවා. නිසි පහසුකම් සහිත නිවසක් නැති සැමට වටිනා කමක් සහිත දේපලක අයිතිය මෙයින් ලැබෙනවා.

මෙය දුම්රිය මාර්ගයේ හිටියට ලැබෙන වන්දියක් නෙවෙයි, මෙය කරුණාසහගත ගෙවීමක්. මානුෂික පදනමක් යටතේ තමුන්නාන්සේලා සමඟ සාකච්ඡා කරලා තමයි මෙම නිවාස ලබාදෙන්නේ. ලැබෙන නිවාසයට යන්නේ නැත්නම් අධිකරණයට ගිහිල්ලා පදිංචි නිවසින් ඔවුන් ඉවත් කිරීමට කටයුතු කරනවා. මොකද අපි හැමෝම රටේ පවතින නීතිය යටත් වෙන්න ඕන, පවතින නීතියට ගරු කරන්න ඕන අරාජික තත්වයක් යටතේ සමාජයක් ජීවත් කරවන්න බැහැ. මේ ලැබෙන්නේ තමුන්නාන්සේලාට ජීවිත කාලය තුල ලැබෙන ඉතා වටිනා වත්කමක් රජය ගෙයක් ලබා දෙන්නේ ණය අරගෙන නිදහසින් පස්සේ දිගටම රජයවල් කරලා තියෙන්නේ කාගෙ ආණ්ඩු තිබුනත්, කවුරු ජනාධිපති වුනත්, කවුරු අගමැති වුනත්, කවුරු කැබිනට් මණ්ඩලයේ හිටියත් පාරවල්, පාලම්, ඇනිකට්, ඇල වේලි, නිවාස යෝජනා ක්‍රම, විදුලි බලාගාර, පාසල්, රෝහල් හදලා තියෙන්නේ දේශීය හා විදේශීය වශයෙන් ණය අරගෙන. ඒ ගත්තු ණය ඇමරිකානු ඩොලර් බිලියන 36ක් ගෙවා ගන්න බැරිව හිර වෙලා තියනවා. ඉදිරි අවුරුදු 5 – 6 තුළදී ගෙවෙන්නේ ඒ ගෙවන්න තියෙන ණය වලින් 37% යි. තව ඒ ණයවලින් 51% කට වැඩි ප්‍රමාණයක් ගෙවෙන්නේ ඉදිරි අවුරුදු 6ත් – 20ත් අතර , 12% ක් ගෙවන්න තියෙන්නෙ අවුරුදු විස්සකට පස්සේ ඒ කියන්නේ 2050 වෙනකනුත් මේ රටේ ජනතාවට මේ ප්‍රශ්නයෙන් ගැලවිල්ලක් නැහැ. ඒ සඳහා දේශපාලන උත්තරයක් නැහැ. ආණ්ඩුව වෙනස් වුනත් ජනාධිපති කවුරු වුනත් මේ ණය ගෙව්වේ නැත්නම් මේ රටේ කිසිම ගණුදෙනුවක් කරන්න බැරි වෙනවා.

රටක් ආණ්ඩුකරනයේදී ගත්ත ණය ගෙවිය යුතුයි. ගිය අවුරුද්දේ අපි ඔක්කෝමලා බදු ගෙව්වා ආදායම් මට්ටම් වල වෙනසක් නැතුව හැමදෙනාම ලංකා ආණ්ඩුවට බදු ගෙව්වා. අපි මිලදී ගන්න හැමදේටම බදු ගහලා භාණ්ඩයේ මිලට බද්ද එකතු වෙලා තියෙන්නෙ. ඒවා වක්‍ර බදු. ඉහළ වැටුප් ආදායම් ලබාගන්නා අය ගෙන් සෘජු බදු අයකරනවා. ඒ සියලු බදු වලින් 2022 වර්ෂයේ ලැබිලා තියෙන්නේ බිලියන 1751 යි. ඒකෙන් රාජ්‍ය සේවකයින්ට වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීමට බිලියන 1265 ක් වැයවෙලා .එය මුළු බදු ආදායමෙන් 72%ක්. සමෘද්ධිය ඇතුලු අනෙකුත් සහනාධාර ලබාදීමට බිලියන 506 වැයවෙලා එය බදු ආදායමෙන් 28%ක්. එතකොට භාණ්ඩාගාරයේ සතයක්වත් ඉතිරි වන්නේ නැහැ. එයින් එහාට ආණ්ඩුව කොහොමද ගෙනියන්නේ. ගිය වර්ෂයේ ණය පොලිය බිලියන 1565 ක්, ප්‍රාග්ධන වියදම බිලියන 715 ක් ඒවා ඔක්කොම ණයට අරගෙන තමයි ගෙවලා තියෙන්නේ. දැන් ණය ගන්නත් බැහැ මුදල් අච්චු ගන්නත් බැහැ. ඒ නිසා අපි ඉන්නේ අමාරු තැනක මේ සඳහා කිසිම දේශපාලන විසඳුමක් නෑ. ආර්ථික විසඳුමක් පමණයි තියෙන්නෙ ඒ සඳහා කොරියාව, චීනය, ඉන්දියාව වගේ පාසල් ලමුන් පාසල් තුලත්, විශ්ව විද්‍යාල සිසුන් විශ්ව විද්‍යාලය තුලත්, ගොවීන් ගොවිපොළ තුළත්, කම්කරුවන් වැඩ බිම තුලත් වැඩි වැඩියෙන් වැඩ කල යුතුයි. ඒ තුළින් පමණයි රටට ගොඩ යෑමක් තියෙන්නේ මේක තමයි ඇත්ත යථාර්ථය.

ඔබතුමන්ලා එක්තරා තත්ත්වයකින් උඩට ඇවිල්ල තියෙනවා. ඒ තුළින් තමන්ගේ දරුවන්ට අනාගත ලෝකයට සරිලන ලෙස ඉගැන්විය යුතුයි. ඉදිරියට එන්නේ සාක්ෂරතාවය තුළින්, ඩිජිටල්කරණය තුලින් මිනිසුන් නැතුව වැඩ කරන ලෝකයයි. මේක තමයි හෙට දවසේ ලෝකය. ඒ ලෝකයට යන්න දරුවන්ට අධ්‍යාපනයක් ලබා දිය යුතුයි. අලුත් ලෝකයට අවශ්‍ය කරන දැනුම දීලා ඒ දරුවා මේ රටට පමණක් නොවෙයි ලෝකයටම සම්පතක් වන දරුවන් ලෙස හදන්න කටයුතු කරන ලෙස අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේ වැඩ බලන ලේකම් එල්. එච්. තිලකරත්න, දුම්රිය ප්‍රධාන ඉංජිනේරු (ව්‍යාපෘති හා සැලසුම්) ඩී. ජේ. ප්‍රේමතිලක, කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ උපාලි මල්ලිකආරචිචි මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා නිවාස හිමිකම්පත් ලාභීන් විය.

– Media unit

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස