අනුර ඩීල් දේශපාලන කප්පිත්තෙක්..! විල්පත්තුව කැපූ බදියුදීන්ටත් රකින තැනට ම වැටුණා..! ජවිපෙ නායකයා මැරූ එජාප නායකයා රජ කරන්නත් කඩේ ගියා..! – නාගානන්ද…

November 17, 2021 at 10:45 pm | by emanisa.lk

අතිශයින් දුෂිත පොහොට්ටුවෙන් නන්නත්තාර වූ අන්ත පීඩිත ජනයා ජවිපෙ ප්‍රතික්ෂේප කරමින් නැවතත් ව්‍යාජ ‘යහපාලන’ කඳවුරවෙත තල්ලු වී යන්නේ ඇයි?

සැබවින්ම වසර 73ක් පුරා මාරුවෙන් මාරුවට මේ රටේ දිගින් දිගට ම සිදුවුයේ ද එයයි. සුද්දා රට හැර යන විට ජපානය හා ශ්‍රී ලංකාව කරට කර සිටි රටවල් විය. නමුත් අද ශ්‍රී ලාංකිකයා උන් හිටි තැන් අහිමි වන තැනට පත්වූ ලෝකයෙන් කොන්වී ගිය රටක් බවට පත්ව ඇත. එසේ වුවද මේ රටේ බහුතරය ඒ බව අවභෝධ කරගෙන ඇති බවක් කොහෙත්ම පෙනෙන්නට නැත.

තවමත් අපේ මිත්‍යා දෘෂ්ඨික දේශපාලුවෝ කථා කරන්නේ කන බොන දේ සහ වෙනත් අත්‍යවශ්‍ය සේවා ගැනය. සජිත්ගේ කතාවෙන් ඔහු ඊයේ එය නැවතත් තහවුරු කළේය. ඔහු රටේ නීතියේ ආධිපත්‍ය නැවත පිහිටුවා අධිකරණය දේශපාලන අධිකාරියෙන් නිදහස් කලයුතු බවට කිසිම සඳහනක් කලේ නැත. මේ රටේ දේශපාලනය පිළිබඳ ජනවිඥණය තවමන් පවතින්නේ බිංදුවෙහි කීවොත් එය නිවැරදිය. ජනතාව සතු කිසිවකුට උදුරාගත නොහැකි අධිකාරී බලය විශ්වාසය මත බලගන්වනවුන් රජයේ දේපළ හා බදු ආදායම වංචා කිරීම ජනයා සාමාන්‍ය දෙයක් ලෙස දකින්නේ එහෙයිනි.

රජයත් මහ ජනතාවත් අතර ඇත්තේ වසර 5 කාලයකට සීමාවූ ගිවිසුමක් බවත් එම කාලය තුල රාජ්‍ය බලය විශ්වාසය මත ලබාගන්නා පිරිස එම විශ්වාසය ආරක්ෂා කරමින් රාජ්‍ය පාලනය කිරීමට නීතියෙන් බැඳී සිටින බව මේ රටේ මිනිස්සුන්ට කිසිම අවබෝධයක් නැත. අධිකරණය හා විනිසුරන් යනු ජනතාවගේ පරමධිකාරී බලයේ වැදගත්ම අංගයක් වන අධිකරණ බලය එම ආයතනය කෙරෙහි ජනතාව තබා ඇති විශ්වාසය ආරක්ෂා කරමින් නීතියේ ආධිපත්‍ය ලොකු පොඩි ඕනෑම අයකුට එරෙහිව බලගැන්වීමට නීතියෙන් බැඳී සිටින ඒ බවට ජනතාවට ප්‍රතිඥාවක් දී ඇති ආයතනයක් බව මේ රටේ ජනතාවට කිසිම අබභෝධයක් නැත.

සරත් සිල්වා සුනාමි ආධාර මංකොල්ල කෑ රාජපක්ෂව නීතියේ රැහැනින් අතහැර දමන විට එහි ඇති භයානකකම මේ රටේ මිනිස්සු තේරුම් නොගත්තේ එහෙයිනි. නීතියේ ආධිපත්‍ය ඕනෑම තැනැත්තෙකුට සෘජුව බලගැන්වීමට බැඳී සිටින අග විනිසුරු මොහාන් පීරිස් අගමැති හා ජනාධිපති හමුවේ දනින් වැටෙමින් අධිකරණයේ ස්වාධීනත්වය පාවාදෙමින් රජය කියන ඕනෑම තීන්දුවක් දීමට තමන් සුදානම් බව ප්‍රකාශ කරන විට මේ රටේ මිනිස්සුන්ට එම ප්‍රකාශයේ ඇති භයානකකම කොහෙත්ම තේරුම් ගැනීමට නොහැකි විය.

රටේ මිනිස්සු තවමත් අතිශයින් දුෂිත දේශපාලුවන්ගේ වහසි බසට දිගින් දිගටම රැවටෙන්නේ මේ රටේ මිනිස්සුන්ගේ ජන විඥාණය ඒ තරමටම දුර්වල හෙයිනි. සත්‍ය නුවනින් පසක් කරන, සත්‍ය ගරුකව කථා කරන, අයකු පමණක් මේ රටේ අතරමං වූ ජනතාවගේ ජන විඥානය අවදි කිරීමට සමත් නිර්ව්‍යාජ විකල්පයක් බිහිවී නොමැති බව මැනවින් තේරුම් ගනී. රට වේගයෙන් බිඳ වැටීමට එකම හේතුව ද එයම බව තේරුම් ගන්නේ ඔවුන් පමණි.

ජවිපෙ විනාශ වුයේ පක්ෂයේ වර්තමාන නායකයින් කුණු රසයට ගිජු වී ඩීල් දේශපාලනය වැළඳගෙන ඇති හෙයිනි. ඒ බව ගෝඨාභය රාජපක්ෂ නීති විරෝධීව නාමයෝජනා දෙනවිට අනුර කුමාර තම වගකීම පැහැර හැරීමෙන්ද, බැසිල් රාජපක්ෂ හා රනිල් වික්‍රමසිංහ නීති විරෝධීව පාර්ලිමේන්තුවේ පිටුපස දොරෙන් හොරෙන් රිංගන විට නිහඬව සිටීමෙන්ද ජවිපෙ වර්තමාන නායකත්වය රටට මැනවින් තහවුරු කර ඇත. විල්පත්තු වන විනාශයට සෘජුවම වගකිව යුතු බදුර්දීන්ව ආරක්ෂා කිරීමට තරම් ප්‍රධාන පක්ෂ දෙක තරමටම ජවිපෙද කඩා වැටි ඇතැයි තතු දත් පුරවැසියන් කොහෙත්ම අපේක්ෂා කලේ නැත.

යහපාලනයේ අමාත්‍ය මණ්ඩලය සහ මන්ත්‍රීවරු සිය ගණනක් එළිපිට තම කාර් පර්මිට් විකුණා එක් අයකු රුපියල් මිලියන 33 1/2 බැගින් රජයේ බදු වංචා කරන විට ද ජවිපෙ නිහඬ විය. ඊට ප්‍රධාන හේතුව වුයේ ඊට එරෙහිව හඬක් නැගිය නොහැකි තරමට ඔවුන්ද බදු රහිත පර්මිට් වාහන විකුණා එම වාහන ආනයනය කරන අවස්ථාවේ රජය අත්හරින ලද බද්ද එම විකුණන අවස්ථාවේ රජයේ ඒකාබද්ධ අරමුදලට බැර කිරීම පැහැර හරිමින් වංචා කරන ලද කල හෙයිනි.

එය නීති විරෝධී වරදකට වඩා බරපතළ ලෙස විනය විරෝධී, සදාචාර විරෝධී වරදක් විය. නීතිය, විනය, සදාචාරය, සභ්‍යත්වය රටේ නැවත ස්ථාපිත කල යුතු යයි හඬක් නගන ජන හිතකාමී දේශපාලන පක්ෂයකට එවැනි වරදක් කිසිසේත්ම කල නොහැක. එවැනි වරදෙහි යෙදීම පක්ෂය කෙරෙහි මහ ජනයා තබා ඇති විශ්වාසය බිඳී යාමට සෘජුවම බලපාන බව තේරුම් ගැනීමට පක්ෂයේ වර්තමාන නායකත්වය අසමත්වීම පක්ෂය කෙරෙහි මහජන විශ්වාසය බිඳ වැටීමට සෘජුවම හේතු වුවාට සැකයක් නැත.

ජනතාව දැඩි පීඩාවකට පත්කර රැස් කරන වර්ෂයකට රුපියල් බිලියන 100 කට වඩා රජයේ බදු ආදායම කිසිම පලක් නැතිව කාබාසිනියා කරන පළාත් සභා ක්‍රමය සාධාරණය කිරීමට තරම් පක්ෂය පළාත් සභාවලින් ලැබෙන ආදායමට ගිජුවීම මේ රටේ ජනතාව කිසිදා ජවිපෙන් අපේක්ෂා නොකළේය. එවකට ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මාංචු දමා බලෙන් සම්මත කල 13 වන ව්‍යවස්ථා සංශෝධන පක්ෂයේ නිර්මාතෘවරයා තරයේ හෙළා දුටුවා පමණක් නොව එය මේ රටේ හඳුන්වා දීමට එරෙහිව අරගල කර තම ආධාර කරුවන්ගේ ජිවිත සිය ගණනක් අහිමි කර ගත්තේය. එවැනි දැඩි ස්ථාවරයක් ගත් පොදු ජනතාව වෙනුවෙන් ප්‍රභල හඬක් නැගු පක්ෂයක් ප්‍රධාන පක්ෂ දෙකේ අඩි පාරේම යමින් රජයේ බදු අදායම මංකොල්ලකෑම දැඩි විනයක් තිබු ජවිපෙ කෙරෙනි තිබු මහජන විශ්වාසය අහිමි කරගැනීමට සෘජුවම බලපෑ බවට සැකයක් නැත.

පක්ෂයේ වර්තමාන නායකය වරින් වර, මාරුවෙන් මාරුවට, ප්‍රධාන පක්ෂ දෙක සමග ඩීල් දමමින් වරක් දෙවරක් නොව අනේක වාරයක් මේ රටේ ජනතාව අතරමං කර ඇති බව රට්ටු මේ වනවිට මැනවින් තේරුම් ගෙන ඇත. තම නායකයා ඝාතනය කිරීමට සෘජුවම වගකිව යුතු එජාපයේ වර්තමාන නායකයාට ජනාධිපති බලතල පැවරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක් ගෙන ඒමට තරම් පක්ෂයේ වර්තමාන නායකත්වය පහත් තත්වයකට ඇද වැටෙනු ඇතැයි පක්ෂයේ ප්‍රතිපත්ති ගරු කල ජනතාව කිසිදා අපේක්ෂා කලේ නැත.

ජනතාව සතු පොදු දේපළ හොරකම් කිරීමද හොරෙන් කරමින් ප්‍රධාන දේශපාලන පක්ෂ සමග සමගාමීව හැසිරෙන ජවිපෙ වර්තමාන නායකත්වය කෙරෙහි ප්‍රධාන පක්ෂ දෙකට හැමදාම රැවටෙන ජනතාව අතර ප්‍රසාදය අහිමිවීමට ප්‍රධානම හේතුව විය. ජනතාවගේ විශ්වාසය,පිළිගැනීම දිනාගැනීමට පක්ෂයේ වර්තමාන නායකයා අසමත් වී ඇත්තේ එහෙයිනි.

මාතෘ භුමිය අපරාධකරුවන්ගෙන් ගලවා ගැනීමට පැහැදිලි වැඩපිළිවෙළක් සහිතව ඉදිරිපත් වන නිර්ව්‍යාජ විකල්පයක් අද කොහෙත්ම නැත. එයින් වැඩියෙන්ම පීඩා විඳින්නේ ප්‍රධාන පක්ෂ දෙකේ දැඩි සුරාකෑමට ලක්ව අතරමං වී සිටින අහිංසක ජනතාවයි. දැඩි පීඩාවට ලක්ව අතරමං වී සිටින එම ජනතාවගේ විශ්වාසය දිනාගැනීමට සමත් වැඩ පිළිවෙළක් ඉදිරිපත් කරන කිසිවකු වර්තමාන දේශපාලන කරලියේ විද්‍යමාන නොවේ.

ජනතා විමුක්ති පෙරමුණ රැකගෙන සිටි එම දැඩි විනය, අනන්‍යතාව තව දුරටත් ආරක්ෂා කරගෙන සිටියේ නම් දැඩි පිඩාවට පත්ව අතරමං වී සිටින ජනතාව පුන පුනා අධිකරණය තම දෙපා හමුවේ දණගස්වා නීතියේ ආධිපත්‍ය ජනතාවට අහිමිකර නිදහසේ පොදු සම්පත් මංකොල්ල කෑමෙහි යෙදෙන ප්‍රධාන කඳවුරු වෙත ගිනි මැලයක් වෙත පියාඹන මෙරුවන් රැලක් මෙන් කිසිම හේතුවකට ඇදී යන්නේ නැත.

නාගානන්ද කොඩිතුවක්කු

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස