රාජපක්ෂ පවුලේ ගෝඨා පිළිබඳ තීන්දුව සමග අවුලක්! මහින්ද මෛත්‍රී මුණ ගැසෙයි!

March 23, 2019 at 8:45 am | by admin

ජනාධිපති අපේක්ෂකයා ගැන ඒකාබද්ධ විපක්ෂය තුළ කිසිදු නිල සාකච්ඡාවක් සිදු නොවී තිබියදී, රාජපක්ෂ පවුල විසින් ගෝඨාභය තෝරාගත් බවට ප්‍රචාරය කිරීමත් සමග මහින්ද රාජපක්ෂ මහතා බලවත් දේශපාලන හිරවීමකට ලක්ව ඇතැයි දැනගන්නට තිබේ.

මෙම ප්‍රචාරයත් සමග ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර පැයකට අධික දීර්ඝ සාකච්ඡාවක් පසුගිය සඳුදා (18) පවත්වා ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. එම සාකච්ඡාවෙන් පසු වත්මන් දේශපාලන තත්ත්වය සාකච්ඡා කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් පිරිසක්ද ජනාධිපතිවරයා හමුවී ඇතත්, ඊට මහින්ද රාජපක්ෂ මහතා සහභාගි වී නැත.

කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස තෝරා ගත් බවට ප්‍රචාරයවීමෙන් පසු ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් කිහිපදෙනකු මේ පිළිබඳ මහින්ද රාජපක්ෂ මහතාගෙන් විමසා ඇතත් ඔහු ඊට නිශ්චිත පිළිතුරක් දී නොමැති බවද වාර්තා වේ. ඔහු පැහැදිලි ප්‍රකාශයක් නොකිරීමත්, ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂයෙන් පිට තීරණ ගනිමින් සිටීමත්, ශ්‍රීලනිප-පොහොට්ටු සන්ධානගතවීමේ සාකච්ඡා සාමාන්‍ය හමුවීම් බවට පත්ව තිබීමත්, මෛත්‍රී – මහින්ද හවුලට බරපතළ ලෙස බලපා ඇතැයිද දැනගන්නට තිබේ.

ඉදිරි ජනාධිපතිවරණයේ පොදුජන පෙරමුණු ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන්න තවම නිශ්චිතව තීරණයකට එළැඹ නොමැති බවත්, තවමත් තමන්ගේ වැඩි කැමැත්ත ඇත්තේ චමල් රාජපක්ෂට බවත් ඒකාබද්ධ විපක්ෂයේ නායකයකු වන ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර පැවසීය.

රාවය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස