රට වසා කොවිඩ් පාලනයට දින 04ක වියදම කෝටි 6000යි….! කට වසා කොවිඩ් පාලනය කළා නම් වියදම කෝටි 10යි…! – අජිත් නිවාඩ් කබ්රාල්…

May 18, 2021 at 7:32 am | by emanisa.lk

දිවයින පුරා පසුගිය දින හතරේ දී ක්‍රියාත්මක කෙරුණු සංචරණ තහනම හේතුවෙන් රටේ ආර්ථිකයට වූ පාඩුව රුපියල් කෝටි 6000 ඉක්මවන බව මුදල් ,ප්‍රාග්ධන සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.

සංචරණ තහනම හේතුවෙන් දේශීය දළ ජාතික නිෂ්පාදිතයෙන් දිනකට අහිමි වූ මුදල රුපියල් කෝටි 1500 කට අධික යැයිද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කියයි.

රට දින දහයක් වසා දැමුවොත් දළ ජාතික නිෂ්පාදිතයෙන් අහිමි වන මුදල රුපියල් කෝටි 15000ක් (බිලියන 150ක්)ලෙස ගණන් බලා ඇතැයි ද එය මුළු නිෂ්පාදිතයෙන් සියයට එකක ප්‍රතිශතයක් යයිද ඔහු කීය.

රටේ සමස්ත දළ ජාතික නිෂ්පාදිතයේ වටිනාකම රුපියල් කෝටි පහළොස් ලක්ෂයකි. මේ අනුව දිනක නිෂ්පාදිත වටිනාකම රුපියල් කෝටි 4100කට අධිකය.

සංචරණ තහනම පැනවුවත් රටේ රක්ෂණ ඇතුළු ඇතැම් අංශ එම කාලයේදී ක්‍රියාත්මකවු හෙයින් දළ දේශීය නිෂ්පාදිතයට දිනකට සිදුවූ පාඩුව රුපියල් කෝටි එක්දහස් පන්සීයක් ලෙස ගණන් බැලිය හැකි යයිද අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසුවේය.

මේ කාලසීමාවේදී සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ආදායම අඩුවීමෙන් ඔවුනගේ ණය ගෙවීමේ හැකියාව නැති වන බව කී රාජ්‍ය ඇමතිවරයා එයද රටේ ආර්ථිකයට විශාල ගැටළුවක් බව ප්‍රකාශ කළේය.

එසේම මේ කාලසීමාවේදී සේවකයන් විශාල පිරිසකට වැඩ නැතුව වැටුප් ගෙවීමට රජයට සිදු වූ බවත් රටේ නිෂ්පාදන ක්‍රියාවලිය අඩපණ වීමෙන් සිදුවූ පාඩුවද අතිමහත් බවත් කබ්රාල් මහතා කීය.

විශේෂයෙන්ම ඇඟලුම් නිෂ්පාදිතයන් නියමිත වේලාවට සැපයීමට නොහැකිවීම නිසා ආර්ථිකයට ලොකු බලපෑමක් මේ දින කිහිපයේදී ඇති වුණු බවත් එදිනෙදා හම්බ කරගෙන ජීවත් වූ විශාල පිරිසකට ද මේ කාලයේදී සිය ජීවනෝපාය අහිමිවූ බවත් ඔහු පැවසීය.

කුඩා ආර්ථිකයක් සහිත රාජ්‍යයක් හෙයින් රට නොවසා කොවිඩ් කළමනාකරණය කිරීමේ වැඩපිළිවෙලකට ගමන් කිරිම ඉතාම වැදගත් බවත් මේ අවස්ථාවේදී වැසිය යුත්තේ රට නොව ජනතාවගේ කට බවත් මුදල් රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

මුඛ ආවරණ ලබා දී ජනතාවගේ කට වැසීමෙන් කොවිඩ් පාලනය කරගත හැකි බවත් ඒ සඳහා වැයවන්නේ බිලියනයක මුදලක් පමණක් බවත් අජිත් කබ්රාල් අනාවරණය කළේය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස