රටේ සංස්කෘතිය හා සභ්‍යත්වය ඇති කළ පොසොන් පොහොය…!

June 24, 2021 at 7:43 am | by emanisa.lk

සම්බුදු සිරිපා පහස ලත් මේ පින්බිමේ මහින්දාගමනයෙන් සුපෝෂිත ව අරිට්ඨ මහා රහතන් වහන්සේගෙන් ඇරඹි ශ‍්‍රී ලාංකේය සම්බුද්ධ ශාසනයේ වර්තමානය හා හෙට දවස පිළිබඳ විමසා බැලිය යුතු කාලය ද එළැඹ ඇත.

ලොව්තුරා ශාන්ති නායක තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙරෙහි අප‍්‍රමාණ ශ‍්‍රද්ධාවෙන් ද, උතුම් වූ ශ‍්‍රී සද්ධර්මය කෙරෙහි මහත් වූ ගෞරවයෙන් ද, සැරියුත් හා මුගලන් මහරහත් තෙරුන් වහන්සේලාගේ සිට ශ‍්‍රී ලාංකේය සම්බුදු සසුනේ මූලාරම්භය වූ අරිට්ඨ මහ රහතන් වහන්සේගේ සහ අනුලා මහ රහත් තෙරණින් වහන්සේගෙන් ඇරඹි සිරිලක සඟපරපුරේ සිට වර්තමානයේ වැඩ වෙසෙන කුඩා සාමණේර හිමිවරුන් දක්වා වූ භික්ෂු භික්ෂුණි පරපුර කෙරෙහි වූ ද අචල ගෞරවය පෙරදැරිව මෙය ලිවීම ඇරඹුවෙමි.

එවකට භාරතයේ අශෝක අධිරාජ්‍යයාගේ රාජ්‍ය සමයේ බුදු පියාණන් වහන්සේගේ ධර්මය ලෝකය පුරා ව්‍යාප්ත වෙමින් පැවැති අතර එවකට තථාගත ධර්මය ඒ ඒ බිමේ ස්ථාපිත වූයේ ඒ ඒ බිමේ විවිධ ආවේණිකතා ද සහිතවයි. නිදසුනක් වශයෙන් ඇතැම් රටක සුදු ඇඳුම් ඇඳගත් පිරිසක් වශයෙන් ද, තවත් රටෙක කහ ඇඳුම් ඇඳගත් පිරිසක් වශයෙන් ද, තවත් රටෙක හිස මුඩු නොකළ පූජ්‍ය ශ‍්‍රාවකයින් පිරිසක් වශයෙන් ද ආකෘතිකමය වශයෙන් විවිධතාවලින් සමන්විත ව සසුන වර්ධනය විය. එයට හේතු වූයේ ඒ ඒ භූමි ප‍්‍රදේශවල තිබුණු ආවේණික ධර්මතා ය.

එසේ ම, ලොව අනෙකුත් රටවල ප‍්‍රදේශයන්ට සාපේක්ෂ ව මේ හෙළ දෙරණට ආවේණික, වෙනස් ම වූ භූමියක් වශයෙන් මුහුදෙන් වටවී තිබීම, කුඩා භූමි ප‍්‍රදේශයක් වීම, සමස්ත අජීවි පද්ධතීන්ගේ විවිධත්වයක් තිබීම, ආවේණික කිසිදු ඇදහිල්ලක් හෝ විධිමත් සංවිධානාත්මක ආගමක් හෝ විශ්වාසයක් හෝ ඇදහිල්ලක් නොතිබීම, ප‍්‍රඥා සම්පන්න පිරිසක් වාසය කිරීම, එක් රාජ්‍යයක හා එක් රාජ්‍ය නායකයකු යටතේ සම්පූර්ණ භූමිය පැවතීම, කිසියම් ආකාරයක සවිඥානික සංස්කෘතියක් සහිත පිරිසක් වාසය කිරීම, ගොවිතැනින් ජීවත් වුණු කෘෂිකාර්මික පිරිසක් ලෙස හැදී වැඩි තිබීම, අසභ්‍ය, සත්ව ඝාතන හා කොල්ලකැම් සහිත ජන ප‍්‍රජාවක් නොවිසීම වැනි කාරණා මිහිඳු මහරහතන් වහන්සේට මේ බිමෙහි ධර්මප‍්‍රචාරය පහසු කර වූ සාධක විය. මිහිඳු මහරහතන් වහන්සේට ඉට්ඨිය, උත්තිය, සම්බල, බද්ධසාල යන භික්ෂුන් හා සුමන සාමණේර වහන්සේ සහිත භණ්ඩුක උපාසක ද සමගින් මේ රටේ බුදුදහම පැතිරවීමට සහ පිහිටුවීමට අතිරික්ත ව වඩාත් ශිෂ්ට සම්පන්න හා ශීලාචාර සමාජයක් ද ගොඩනැගීමට එකල හැකියාව ලැබුණු බව සඳහන් කළ හැක.

මිහිඳු මහරහතන් වහන්සේ මෙරට ට වඩින විට සැබවින් ම එකල කිසියම් ප‍්‍රමාණයකට බුදුදහම දත් රටක් ව තිබූ බව පැහැදිලිය. මේ බුදුදහම දත් රටේ මිහිඳු මහරහතන් වහන්සේ ට සිදු වූයේ ඒ දත් බුදුදහම ව්‍යාප්ත කිරීමටයි. බොහෝ දෙනා බුදුදහම වැලඳගෙන සිටි බෞද්ධයන් ව නොසිටියත් එකල බුදුදහම සමස්ත භූමිය තුළ ආගන්තුක ධර්මයක් ව නොතිබූ බව පමණක් තාර්කික ව ඔප්පු කළ හැකි ය. කෙසේ වෙතත් ඒ වන විටත් මිහිඳු මහරහතන් වහන්සේ වැඩම වීමට පෙර බුදුදහම හෝ වෙනත් විධිමත් ආගමක් ශ‍්‍රී ලාංකේය ජාතිය විසින් මැනවින් හඳුනා වැලඳගෙන නොතිබුණි.

එලෙස තිබුණු මේ බිමට මිහිඳු මහරහතන් වහන්සේ හඳුන්වා දෙනු ලැබූයේ බෞද්ධ ජීවන දර්ශනය හා සංස්කෘතිය මිස බුද්ධාගම ම නොවේ යැයි සිතිය හැකිය. බුද්ධාගම අනුව උන්වහන්සේ චතුරාර්ය සත්‍යය, කර්මය, පුනර්භවය, පටිච්චසමුප්පාදය වැනි මහ බරකින් යුක්තව ධර්ම කරුණු දේශනා කළ බවක් පෙන්නුම් කර නැත. චුල්ලහත්ථිපදෝපම සූත‍්‍රය දේශනා කළත්, වෙනත් සූත‍්‍ර දේශනා කළත්, අනන්ත ලක්ඛණ දේශනාව හැරුණු කොට එම දේශනාවල එන කරුණු හා ගලපනවිට ඒවා ගාම්භීර ධර්ම පර්යායන්, දාර්ශනික දේශනාවන් නොවන බව පෙනේ. ඒ නිසා ම උන්වහන්සේ සිද්ධ කළේ සහ උන්වහන්සේට උවමනාව තිබුණේ ලක් බිමේ නව සංස්කෘතියක්, සභ්‍යත්වයක් ගොඩනගන්නට ය. ඒ සංස්කෘතික ගොඩනැගීම සමග සංස්කෘතික දහම පසුකාලීනයන් විසින් හදාරන්නට ඇතැයි සිතිය හැක.

ඒ අනුව, බෞද්ධ ජීවන දර්ශනය සහිත නව ජීවන රටාවක් මේ ලක් බිමේ මිහිඳු මහරහතන් වහන්සේ විසින් ස්ථාපිත කරන ලද බව සඳහන් කළ හැකි ය. කෙටියෙන්ම කිවහොත් මිහිඳු මහරහතන් වහන්සේ සිද්ධ කළේ ලංකා බිමේ ආගම බුද්ධාගම බවට පත් කිරීම සඳහා වන නෛතික හා රාජ්‍ය බලය ගොඩනැගීමකි. ඉන් අනතුරුව මිහිඳු මහරහතන් වහන්සේ මේ ලක් බිමේ දාර්ශනික බුද්ධාගම හා වෙනත් ධර්ම පර්යායන් විග‍්‍රහ කර ගැනීම සඳහා ඉඩකඩ සලස්වාලීමයි. දැවැන්ත ධර්මාධ්‍යාපනයක් හෝ දැවැන්ත මිෂනාරි ක‍්‍රියාවලියක් සිදු කළ බවක් දක්නට නැතත් පළමුව එවකට මේ බිමෙහි රාජ්‍ය පාලකයා වූ රජතුමා බෞද්ධ කිරීම, සම්බුද්ධ ශාසනය මෙරට ස්ථාපිත කිරීම, ඒ සඳහා අවශ්‍ය කරන පසුබිම් කාරණා ගොඩනැගීම හා එයට අමතරව රාජ්‍යයේ සෘජු දායකයින් ලෙස රට වැසියන් බෞද්ධයන් බවට පත් කිරීම, ඒ බෞද්ධයන් පැවිදි කරමින් සම්බුද්ධ ශාසනයේ හි හිමිකරුවන් බවට පත් කිරීම වැනි රාජ්‍ය සහ බුද්ධාගම යන මාතෘකාවට අදාළ සෘජු සබඳතා ගොඩනැගීම මිහිඳු මහරහතන් වහන්සේ විසින් සිදුකරනු ලැබීය. එහෙත්, ඒ සඳහා ගම් දනව් පුරා වැඩම කරමින් ධර්මප‍්‍රචාර කටයුතු සිදු කිරීම හෝ පිරිවෙන් වැනි අධ්‍යාපන ආයතන බිහි කිරීම හෝ සාමාන්‍ය ජනතාවට දහම

ඉගැන්වීම හෝ සාමාන්‍ය ජනතාවට සංස්කෘතික හා සදාචාරමය කාරණා කියා දීම හෝ එවැනි ධර්මප‍්‍රචාරක කටයුතු සිදු කළේ නැත. පසු කලෙක යටත් විජිත සමයේ මිෂනාරී අධ්‍යාපනය ලබා දෙමින් මිෂනාරීන් විසින් ආගම ප‍්‍රචාර සිදු කළ ආකාරයේ ව්‍යුහයක් හෝ එබඳු රටාවක් මිහිඳු මහරහතන් වහන්සේ විසින් එකල සිදු නොකළ බව පෙනේ.

එසේ වුව ද, මෙහිදී වඩාත් සැලකිය යුතු සමාජීය වශයෙන් ද, මෙමගින් කිසියම් පිළිතුරු ලබා දීමක් වශයෙන් ද සඳහන් කළ යුතු කරුණක් ඇත. මූලධර්මවාදී සහ භෞතිකවාදීන් විසින් විවිධ අවස්ථාවන් හි දී චෝදනා නගන කරුණක් වන්නේ, මිහිඳු මහරහතන් වහන්සේට අවශ්‍ය වූයේ අධිරාජ්‍යවාදී ධර්මාශෝකයන්ගේ ග‍්‍රහණයට මේ බිම නතු කිරීමටය යන්නයි. එහෙත්,මේ අගතිගාමී සහ අධම වූ ප‍්‍රකාශයට පිළිතුරක් සැපයිය යුතු ය. මිහිඳු මහරහතන් වහන්සේ ට කිසිසේත් ම ඉන්දියානු ආගමක් ලංකා බිමේ ඇති කරන්නට හෝ ඉන්දියානුභාවයක් ලංකාවේ ඇති කරන්නට හෝ ඉන්දියානු නියෝජිතයකු සේ ලංකා බිමේ හැසිරෙන්නට හෝ ඉන්දියානු බලාධිපත්‍යය ලංකා බිම තුළ පතුරුවා හරින්නට හෝ කිසිදු උවමනාවක් නොතිබූ බව විශේෂයෙන් පැහැදිලි කළ යුතුය. මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කළ පරිදි ලංකා බිමේ සම්බුද්ධ ශාසනය පිහිටුවන්නට නම් ලංකාවෙන් කෙනෙක් මහණ විය යුතු විය. එබන්දක් ත‍්‍රිපිටකයේ නැත. එහෙත්, එවැන්නක් මිහිඳු හිමියන් දේශනා කළේ ඉන්දියානු ආගමක් වශයෙන් නොව ලාංකේය ආගමක් වශයෙන් මේ රට තුළ බුදුදහම ව්‍යාප්ත විය යුතු හෙයිනි.

තවද, මෙරට වැසියෝ මිහිඳු මාහිමියන් අනුබුදු ලෙසින් හඳුන්වති. එහෙත්, අනුබුදු යන නම සිංහල නමකි. පාලියෙන් උප බුදු හෝ අනුබුද්ධ හෝ උපබුද්ධ හෝ වැඩබලන බුද්ධ හෝ නියෝජ්‍ය බුද්ධ හෝ කියා නමක් නැත. ලෝකයේ කිසිදු රටක අනුබුදු නම් තනතුරක් නැත. අනුබුදු යන්න සිංහල නමකි. එය මිහිඳු හිමියන්ට රට වැසියන් විසින් දෙන ලද අන්වර්ථ නමකි. එයට හේතුව වන්නේ බුදුහාමුදුරුවන් වහන්සේ ළඟට වටින්නේ මිහිඳු හාමුදුරුවන් වහන්සේ නිසා ය යන්නයි. අදටත් මිහිඳු හාමුදුරුවෝ වැඩ හිටපු තැනක්, මිහිඳු හාමුදුරුවන් වහන්සේ ආදාහනය කළ තැනක්, මිහිඳු මහරහතන් වහන්සේගේ ධාතූන් වහන්සේලා තැන්පත් කර සෑදූ චෛත්‍ය රාජයාණන් වහන්සේ නමක් පිළිබඳ ප‍්‍රකට තොරතුරක්, දැනුමක් නැත. මක්නිසාදයත්, ඒ උන්වහන්සේට ඉන්දියානුභාවය මේ බිමෙහි ස්ථාපිත කිරීමට උවමනාවක් නොතිබුණු හෙයිනි.

ඉට්ඨිය, උත්තිය, සම්බල, බද්ධසාල, සුමන සාමණේර යන භික්ෂූන් වහන්සේලාගේ හා භණ්ඩුක උපාසක යන අය වැඩහිටියේ කොහෙද, අපවත් වූයේ කොහෙද කියාවත් අප සතුව තොරතුරු නැත. එසේ ම මිහිඳු මහරහතන් වහන්සේ ගේ සැබෑ උවමනා වී තිබී ඇත්තේ මේ රට තුළ අරිට්ඨ සඟ පරපුරක් බිහි කරන්නට මිස, මිහිඳු සඟ පරපුරක් බිහි කරන්නට නොවේ ය යන්න මෙහිලා විශේෂයෙන් ම සඳහන් කළ යුතුය.

මිහිඳු මහරහතන් වහන්සේ මෙරට ට වැඩමවීමේ ප‍්‍රතිඵලයක් ලෙසින්, උන්වන්සේගේ මඟ පෙන්වීම මත මෙරට භික්ෂු සංස්ථාව ඇති විය. එසේම භික්ෂුණී සංස්ථාව ඇති කිරීම ද මිහිඳු මහරහතන් වහන්සේගේ මැදිහත් වීම මත සිදු විය. ඒ අනුව, ශ‍්‍රී ලාංකේය භික්ෂුණී සංස්ථාවේ ආරම්භය සංඝමිත්තා තෙරණින් වහන්සේගේ මඟ පෙන්වීම මත අනුලා තෙරණින් වහන්සේගෙන් ඇරඹිණ. භික්ෂු සංස්ථාවේ ආරම්භය අරිට්ඨ තෙරුණ් වහන්සේගෙන් ඇරඹිණි. ඒ අනුව, මහින්දාගමනය හුදු ධර්මප‍්‍රචාරක කටයුත්තක් පමණක් නොව මහා සංස්කෘතියක් ගොඩනැගූ ක‍්‍රියාවලියක් හැටියටත්, මහින්දාගමනයෙන් අපට ලැබුණේ බුදුදහම පමණක් ම නොව මහා දැවැන්ත සංස්කෘතියක් හා සභ්‍යත්ව රාජ්‍යයක් බවත් මෙහිලා පැහැදිලිව සඳහන් කළ යුතු ව ඇත.

ප්‍රශාන් රාජපක්ෂ
ධර්මපාල පරපුර

දිවයින

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස