රටේ කිසි ම පොහොර හිඟයක් නෑ…! යළ කන්නෙට පොහොර ගමට ම යවලත් ඉවරයි…! – කෘෂිකර්ම ඇමැති…

May 12, 2021 at 5:01 pm | by emanisa.lk

රජය රසායනික පොහොර ආනයනය තහනම් කළ ද රටේ කිසිදු පොහොර හිඟයක් නොමැති බව ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

රාජ්‍ය පොහොර සමාගම් දෙක සහ පෞද්ගලික පොහොර සමාගම් සතුව අවශ්‍ය පොහොර තොග ඇති බව ඇමැතිවරයා සඳහන් කරයි.

ඉදිරි යළ කන්නය සඳහා උවමනා පොහොර මෙට්‍රික් ටොන් 385 000 මේ වන විටත් ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත යවා ඇතැයි ද ඔහු අනාවරණය කරයි.

ඊයේ ගොවීන් පිරිසක් පොහොර නැතැයි උද්ඝෝෂණය කරනු තමා දුටු බවත් පොහොර හිඟයක් පිළිබඳ කිසිවෙකු අනියත බියක් ඇති කරගත යුතු නැති බවත් කෘෂිකර්ම ඇමැතිවරයා සහතික වෙයි.

එහෙත් සෙසු වගා සඳහා යම් පොහොර හිඟයක් මතුව ඇති බව පිළිගත් හෙතෙම කූඨ වෙළඳුන් පොහොර තොග සැඟවීම ඊට හේතුව බවට චෝදනා කළේ ය.

ඊයේ දිනයේ පමණක් එලෙස පොහොර සඟවා වැඩි මිලට අලෙවි කළ වෙළඳුන් 10 දෙනෙකු ඇල්ලූ බවත් සැඟ වූ සියලු පොහොර තොග වහා ම නිකුත් කිරීමට කටයුතු කරන බවත් ඇමැතිවරයා අවධාරණය කරයි.

රසායනික පොහොර තහනම දවසකින් ගත් තීන්දුවක් නොවන බවත් ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි කාබනික පොහොර සහ කාබනික ආහාර ප්‍රවර්ධනය පිළිබඳ සඳහන් කර ඇතැයි මහින්දානන්ද අලුත්ගමගේ සිහිපත් කරයි.

එසේ ම 2020 ඇමැති මණ්ඩලය පත් කිරීමේ දී කාබනික පොහොර සහ කාබනික ආහාර සඳහා වෙන ම ඇමැතිවරයෙකු පත්කළ බවත් 2020 අයවැය මගින් රු. බිලියන 1.5ක් කාබනික ගොවිතැන සඳහා වෙන් කළ බවත් මේ කන්නයේ අක්කර 144 000 වී ගොවීන්ට කාබනික පොහොර ලබා දී වගා කර ඇතැයි ද ඔහු හෙළිදරව් කළේ ය.

අද (12) පැවැති මාධ්‍ය හමුවක දී ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස