රජ දරුවෝ හැදූ වැව් පහකට වතුර දෙන්නේ මගේ මොරගහකන්ද සාගරේ! පොළොන්නරුව තෙත් කලාපයක් කළේ මගේ විස්මිත වැඩ තමයි!- මෛත්‍රී

July 23, 2020 at 10:40 am | by emanisa.lk

එදා රජවරුන් පස්දෙනකු කරවූ වැව් පහක් ජලයෙන් පිරවීමට තමන් මොරගහකන්ද නමින් සාගරයක් හැදූ බව හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන පවසයි.

පරාක‍්‍රම සමුද්‍රය, මින්නේරිය, ගිරිතලේ, කවුඩුල්ල, කන්තලේ මේ මහා ජලාශ සියල්ලම අද ජලයෙන් පිරී තිබෙන බවද ඔහු කීවේය.

හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ පොළොන්නරුව බැඳිවැව ප‍්‍රදේශයේ පැවැති ජනහමුවක් අමතමිනි.

“ඉස්සර මේ කාලෙට වහිනවද? මේ කාලෙට වහින්නේ නෑ. දැන් අද මොකද වෙලා තියෙන්නේ. අද සම්පූර්ණයෙන්ම කාලගුණය වෙනස් වෙලා. ඇයි මේ? මොරගහකන්ද කළු ගඟ ජලාශය නිසා පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ මහ වැව් ඔක්කොම පිරුණා. වන ඝණත්වය වැඩි වුණා. වනාන්තර වැඩි වුණා. ස්වාභාවික සම්පත් ශක්තිමත් වුණා. ඒ නිසා කාලගුණික වෙනස්වීමක් පොළොන්නරුවේ සිදු වෙමින් පවතිනවා. අනුරාධපුරයේ පරණ විදියම තමයි.

නමුත් පොලොන්නරුව දිස්ත‍්‍රික්කය වටේම මහා ජලාශ ඔක්කොම පිරිලා. පරාක‍්‍රම සමුද්‍රය, මින්නේරිය, ගිරිතලේ කවුඩුල්ල, කන්තලේ මේ වැව් පහම අද පිරිලා. මේ වැව් පහ හැදුවේ රජවරු පස්දෙනෙක්. රජවරු පස්දෙනෙක් හදපු මේ වැව් පහ පුරවන්න මම සාගරයක් කියලා මොරගහකන්ද හැදුවා. ඒක තමයි පොළොන්නරුව ජනතාවගේ දුක නිවපු ජලාශය. තෙරුවන් සරණින් දෙවියන්ගේ පිහිටෙන් දැන් වැව්වල ජල මට්ටම ප‍්‍රශ්නයක් නෑ. ජලය කියන්නේ සශ‍්‍රීකත්වය සහ ධනය. සශ‍්‍රීකත්වයෙන් තමා ධනය උපදින්නේ. ඒකට ජලය තියෙන්න ඕන. ඔබට අක්කර එකෙන් උඩ කුඹුරු ලක්‍ෂයක් තිබුණත් ජලය නැත්නම් වැඩක් නෑ. නියඟය කියන්නේ දුගීකම, දුප්පත්භාවය සහ නැති බැරිකම.

ලංකාවේ දුගී බව ඇතිවෙන්න හේතුව නියඟය, වියළි බව. ඒක නිසා අපි පොළොන්නරුව ලොකු සංවර්ධනයකට ගෙනාවා. පාසැල් හැදුවා. රෝහල් හැදුවා. පාරවල් හැදුවා. දැන් පොළොන්නරුවට හොඳ අනාගතයක් තිබෙනවා. මම මෙතෙක් කරගෙන ආ සංවර්ධන කටයුතු තවත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යනවා. කවුරු කොහොම කිව්වත් අගෝස්තු මාසේ පස්වැනිදායින් පස්සේ පොලොළොන්නරුවේ සංවර්ධනයේ වගකීම සම්පූර්ණයෙන්ම මගේ අතේ කියන එක කියන්න ඕන.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස