රංජන් වසර ගණනාවක් ජනප්‍රියම නළුවා වුණා…!.. හොඳ කැපෑසිටි එකක් තියෙනවා…! ඔහුට ජනාධිපති සමාව දෙන්න…! – සජිත් ජනපතිට ලියයි…

September 1, 2021 at 6:30 pm | by emanisa.lk

අධිකරණයට අපහාස කිරිමේ චෝදනාව හේතුවෙන් වසර 04ක සිර දඩුවමකට යටත්ව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට ජනාධිපති සමාව ලබා දෙන ලෙස ඉල්ලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමු කර ඇත.

එම ලිපිය මෙසේය.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
ගාලු මුවදොර,
කොළඹ 01.

අතිගරු ජනාධිපතිතුමනි,

සිරගතව සිටින රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ඉල්ලා සිටීම සම්බන්ධවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී අප හිතවත් රන්ජන් රාමනායක මහතා 2021 ජනවාරි 12 දින සිට මේ දක්වා දින 232ක කාලයක් සිර දඬුවම් විඳිමින් සිටී. රන්ජන් රාමනායක මහතා අවංක චරිතයක් ඇත්තෙකු ලෙසත්, සත්‍ය වෙනුවෙන් කතා කරන චරිතයක් ලෙසත් කා අතරත් පිළිගැනීමක් තිබේ. කලාකරුවකු ලෙස රන්ජන් රාමනායක මහතා වසර ගණනාවක් අඛණ්ඩව ජනප්‍රියම නළුවා ලෙසත්, ජනතාවාදී කලාකරුවකු ලෙසත් විශාල කීර්තියක් ලබා ගෙන සිටින අතර දේශපාලනඥයෙකු ලෙස අවස්ථා රැසකදීම ඉහළම ජනතා මනාපයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූවෙකි. දේශපාලනයෙන් හෝ වෙන යම් කිසිම මාර්ගකින් අයථා කටයුතුවලට හෝ දූෂණවලට එතුමා සම්බන්ධ නැති බව කවුරුත් දන්නා කරුණකි.

එතුමාගේ නිදහස සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස දේශපාලන පක්ෂ, පාට භේදයකින් තොරව ආගමික නායකයින්, ප්‍රවීණ කලාකරුවන්, නීති විශාරදයින්, සිවිල් පුරවැසියන්, විශාල පිරිසක් ඉල්ලීම් කළ අතර ඔබතුමාටද එවැනි ඉල්ලීම් ගණනාවක් යොමුකර තිබිණි.

එවන් තත්ත්වයක් තුළ, රන්ජන් රාමනායකයන්ගේ නිදහස වෙනුවෙන් මා මීට පෙර අවස්ථා කිහිපයකදීම ඔබතුමන් දැනුම්වත් කළ අතර ඒ සෑම අවස්ථාවකදීම ඔබතුමන්ගෙන් ලද යහපත් ප්‍රතිචාරය පිළිබඳව කෘතවේදීව සිහිපත් කරමි.

රන්ජන් රාමනායක මහතාගේ නිදහස උදෙසා ඉහත පාර්ශ්වයන් නැවත නැවතත් මා වෙතින් විමසීම් සහ ඉල්ලීම් සිදුකරනු ලබන අතර, එකී ඉල්ලීම් සාධනීය බවත්, සාධාරණ බවත් මා මෙන්ම ඔබතුමාද විශ්වාස කරනු ඇතැයි අපේක්ෂා කරමි. ඒ අනුව රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබා දීම පිළිබඳව ඔබතුමන්ගේ සාධනීය ප්‍රතිචාරය කඩිනමින් මා අපේක්ෂා කරමි.

ස්තූතියි.
සජිත් ප්‍රේමදාස
විපක්ෂ නායක

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස