මෛත්‍රීගේ පෞද්ගලික ආරක්ෂකයාටත් මතක නැති ලෙඩේ වැළඳෙයි! ජනපති කොමිසම ඉදිරියේ පරස්පර සාක්ෂිත් දීලා!

November 28, 2020 at 9:40 pm | by emanisa.lk

පාස්කු ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරීයා වන ප‍්‍රියන්ත පුෂ්පකුමාර ඊයේ සාක්ෂි ලබා දී තිබේ.

එහි දී ඔහු කියා සිටියේ පාස්කු ඉරුදින ත‍්‍රස්ත ප‍්‍රහාරයට පෙර රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන, ඒ වනවිට සිංගප්පුරුවේ රැඳී සිටි හිටපු ජනාධිපතිවරයා සම්බන්ධ කරගැනීම සඳහා තමන්ගේ දුරකථනයට ඇමතුමක් ලබා ගත්තේ ද යන්න පිළිබඳව තමන්ට මතකයක් නොමැති බව ඔහු අවධාරණය කළේ ය.

කෙසේ වෙතත් මෙම නිලධාරියා මීට පෙර ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය හමුවේ ලබාදී ඇති ප‍්‍රකාශය සහ ඊයේ දින ලබාදුන් සාක්ෂිවල පරස්පරතා පවතින බව කොමිසමේ නිරීක්ෂණයට ලක් විය.

හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සිංගප්පුරුවේ රැඳී සිටි දිනවල ජනාධිපතිවරයාගේ රාජකාරි දුරකථනය අතැතිව සිටි සහ වර්තමානයේ ද හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කරන්නේ ප‍්‍රියන්ත පුෂ්පකුමාර ය.

සිංගප්පූරු ගමනට හිටපු ජනාධිපතිවරයා සමග සහභාගී වු පිරිස කවුරුන් ද යන්න රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය සාක්ෂිකරුගෙන් විමසීය. එහි දී සාක්ෂිකරු සඳහන් කළේ ජනාධිපතිතුමාගේ බිරිඳ, පෞද්ගලික වෛද්‍යවරයා, ප‍්‍රධාන ආරක්ෂක නිලධාරියා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ තමන් ද එම ගමනට සහභාගි වූ බව ය.

එහි දී නැවතත් අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේ, පාස්කු ප‍්‍රහාරය එල්ල වු දින ප‍්‍රහාරයට පෙර පෙරවරු 7.59ට පැජට් පාරේ පිහිටි ජනාධිපති නිල නිවස හරහා නිලන්ත ජයවර්ධන  ඔබ සතුව පැවති දුරකථනයට ඇමතුමක් ලබාගත්තේ ද? යන්නයි. එහි දී සාක්ෂිකරු සඳහන් කළේ දුරකථන ඇමතුමක් ආ බවක් මේ වාර්තාවේ පෙන්නුම් කළ ද ඒ පිළිබද තමන්ට මතකයක් නොමැති බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස